එදා වගේ ජාතික ආරක්ෂිව අද නැතිලු

sajith premadasa

එදා ජයග්‍රහණය කළ ජාතික ආරක්ෂාව අද වත්මන් යම්තාක් දුරකට පලුදු වී ඇති බවත් වසර හතක කාලයක් තුළ අප රට ඛේදවාචකයන් පහකට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට මැදපෙරදිග යුද්ධය දක්වා වු ඛේදවාචක නිසා ජාතික ආරක්ෂාව සෑම අතකින්ම අහිමි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා අද ශ්‍රී ජයවර්ධනපුර ජයශේඛරාම විහාරයේදී අති ගෞරවනී රජවත්තේ වප්ප ස්වාමීන් වහන්සේට මියන්මාරයෙන් අග්ගමහා සද්ධම්මජෝතික ධජ ගෞරව නාමය පිරිනැමෙන අවස්ථාව හා එක්වෙමිනි.

මිලිටරි ආරක්ෂාව සේම ආර්ථික සමාජීය දේශපාලන සෞඛ්‍ය අධ්‍යාපන ජීවනෝපාය ආදී සෑම ක්ෂේත්‍රයකම දැවැන්ත උවදුරකට මුහුණ දී ඇති බවත් එදා ජාතික ආරක්ෂාව වෙනුවෙන් මහා සංඝරත්නය දුන් නායකත්වය අද දවසේද ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ දිනයේ සිදු වූ හූති ප්‍රහාරය නිසා බාබ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධිය පවා වැසී යමේ තර්ජනයක් ඇති බවත් මේ නිසා අප රටටද දැවැන්ත අභියෝග රැසකට නැවත වරක් මුහුණ දීමට සිදුවන බවත් අත්‍යාවශ්‍ය ආහාරවල සිට ඉන්ධන දක්වා සෑම ක්⁣ෂේත්‍රයකටම මරු පහරක් මේ නිසා එල්ල වන බවත් මේ අවස්ථාවේ දේශපාලනයෙන් බැහැරව ආගමික සිද්ධස්ථාන මුල් කර ගෙන ජාතික ඒකාග්‍රතාවක් ඇති කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

තිස් වසරක යුද්ධය පැවැති කාලයේ ගමේ නගරයේ ජනතාව බෙදීම් නැති කර ආගමික සිද්ධස්ථාන මුල් කර ගෙන මේ කැපවීමෙන් එඩිතරව කටයුතු කළ බවත් අදත් එදාටත් වඩා අභියෝගයක් නිර්මාණය වී ඇති නිසා මේ වෙනුවෙන් අප සියලු දෙනාම පෙළ ගැසිය යුතු බවත් මේ වන විට රටට සෘණාත්මක බලපෑමක් පැමිණ ඇති නිසා ඒ වෙනුවෙන් මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන් මුල් කර ගෙන එකට එක්ව මුහුණ දී මේ බරපතල ඛේදවාචකයෙන් ගොඩ ආ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අප රටට බුද්ධිමය සම්පතත් එඩිතරභාවයත් කැපවීමත් ඇති නිසා මේ අභියෝග එකට එක්ව ජයගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.