රජයේ ගිනිඅවි 399කට සිදු වූ දෙයක් නෑ
පාස්කු ප්‍රහාරය ගැනත් කරුණු රැසක් හෙළි වෙයි
පොලොන්නරුව, සෙවණපිටියේ පවත්වාගෙන ගිය වධකාගාරයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන වෙත කරුණු වාර්තා කර තිබේ.
ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මේ වධකාගාරය පවත්වාගෙන යනු ලැබ ඇති අතර, එහි සේවයට යොදවා තිබූ දෙදෙනකු මීට අදාළ කරුණු රැසක් අනාවරණය කර ඇත. විවිධ පුද්ගලයන් මේ ස්ථානයට රැගෙනවිත් වධ-හිංසාවලට ලක් කොට, ඝාතනය කළ බවට තොරතුරු රැසක් ඒ අනුව හෙළි වී තිබෙන අතර, ඉදිරියේදී මේ පිළිබඳ තවත් සාක්ෂි රැසක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. එලෙස ඝාතනය කරන ලද පිරිසගේ සිරුරු කඳවුර අවට වළ දමා ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.
2025 අප්‍රේල් 8 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති රවීන්ද්‍රනාත් ශිවසුබ්‍රමනියම් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙනි. රැඳවුම් නියෝග 4ක් මත දින 359ක් රඳවාගෙන සිටි පිල්ලෙයාන් පසුගිය 2 දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී අනාවරණය කරන ලද්දේ හිටපු උප කුලපතිවරයා සෙවණපිටිය කඳවුරට රැගෙන ගොස් ඝාතනය කර, පුලුස්සා ඇති බවයි.
මේ කඳවුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ආරක්ෂක අමාත්‍යාශයෙන් ලිඛිතව කරුණු විමසා ඇති අතර, ඊට පිළිතුරු එවමින් ජාතික බුද්ධි ප්‍රධානියා සඳහන් කර ඇත්තේ එවැනි කඳවුරක් පවත්වාගෙන යෑමට කිසිදු අවසරයක් දී නැති බවයි. මේ අතර පිල්ලෙයාන් වෙත රජයෙන් ලබාදුන් ටී56 ගිනිඅවි 362ක්, මි.මී. 9 වර්ගයේ ගිනිඅවි 36ක් සහ මයික්‍රො අවි 1ක් අතුරුදන් වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.
පිල්ලෙයාන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ කරුණු රැසක්ද අනාවරණය වී ඇත. ඒ කරුණු ඉදිරියේදී කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන චැනල් 4 නඩුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වන අවස්ථාව වන විට පිල්ලෙයාන් සිටියේ මඩකලපුව බන්ධනාගාරයේය. 2015 වසරේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් හදිසියේ නඩුව අවසන් කරන බව අධිකරණයට දැනුම් දීම නිසා පිල්ලෙයාන් නිදහස් විය.
පාස්කු ඉරුදින මඩකලපුව සියොන් දේවස්ථානයේ සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන් පාස්කු ඉරුදින ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමට දුන් සාක්ෂියේ මෙසේ සඳහන් වේ:
“ඔව්. මට හොඳට මතකයි. එදා උදේ මහ සිකුරාදා (ඔහුට එහිදී පාස්කු ඉරිදා සහ මහ සිකුරාදා පැටලී තිබිණි. පසුව එය නිවැරදි කෙරිණි.)
මං අවුරුදු හතරක් බන්ධනාගාරයේ හිටපු නිසා මං දන්නවා, හැම මහ සිකුරාදා දවසකම බිෂොප්තුමා බන්ධනාගාරයට පැමිණෙන බව. ජනවාරි පළමුවැනිදා, අප්‍රේල් 14 අවුරුදු දවසෙ, නත්තල් දවසෙ බිෂොප්තුමා එනවා. මම ඒ පූජාවට සහභාගි නොවුණත් බිෂොප්තුමා ආවහම මාත් එක්ක කතා කරලා තියෙනවා, අවස්ථා දෙකකදි.
“එදත් අපි ඔහුව බලාපොරොත්තුවෙන් හිටියා. ඒත් එක්කම බෝම්බ පිපිරෙන සද්දයක් ඇහුණා. ඒක බ්‍රිතාන්‍ය කාලෙ පරණ ගොඩනැඟිල්ලක්. ඒකෙ තමයි බන්ධනාගාරය තිබුණෙ. මම සාමාන්‍යයෙන් උදේ නවයට උදේ කෑම ගන්නවා. මම උදේ කෑමට ලෑස්ති වෙන අවස්ථාවේදී පිපිරීමෙන් කාමරයේ තිබුණු ලෑල්ලෙන් හුළං පාරක් ආවා වගේ මට දැනුණා. මම විමුක්ති සංවිධානයක සාමාජිකයෙකු විදිහට හිටපු නිසා මට දැනුණා, මෙතැන බෝම්බ ප්‍රහාරයක් වෙලා තියෙනවා කියලා. එතකොට මට හිතුණා අද බිෂොප්තුමා එන්නෙ නෑ කියලා.
“මම බන්ධනාගාර නිලධාරියකුගෙන් ඇහුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ට්‍රාන්ස්ෆෝමරයක් පුපුරලා කිවුවා. ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරුණා නම් ගින්නක් ඇති වෙන්න ඕනෙ; විදුලිය විසන්ධි වෙන්න ඕනෙ. මං කිවුවා මේක එහෙම එකක් නෙමෙයි කියලා.”
2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්තන්කුඩි, අල්ලියාර් හන්දියේදී ගැටුමක් ඇති විය. මේ ගැටුම ඇති වූයේ සහරාන්ගේ කණ්ඩායමත්, රාවුෆ් මවුලවිගේ කණ්ඩායමත් අතරය. සහරාන් එහි පැමිණ ගැටුමට සම්බන්ධ වී ඇත. ඊට සාක්ෂි ලෙස ඡායාරූපද ඇත. සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන් සහ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ෂයිනි මවුලවිද එහි පැමිණ තිබේ.
මේ ගැටුමෙන් පසු සහරාන් එතැනින් පලාගොස් ඇත. මේ සිදුවීම සම්බන්ධයෙන් සහරාන්ගේ පියා සහ ඔහුගේ සහෝදරයා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, ඔවුන් මාස පහක කාලයක් පිල්ලෙයාන් සමග එකට සිට ඇත. මේ අතරින් ෂයිනි මවුලවි වැඩියෙන්ම පිල්ලෙයාන් සමඟ සමීප ව කටයුතු කර තිබේ. පිල්ලෙයාන් මේ ගැන ජනාධිපති කොමිසම ඉදිරියේ පවසා ඇත.
පිල්ලෙයාන්ගේ ලේකම්වරයකු වූ හන්සීර් අසාද් මවුලානා යනු පිල්ලෙයාන්ගේ පක්ෂයේ විධායක කමිටුවේ සිටි අයෙකි. පිල්ලෙයාන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ය. පසුව පෞද්ගලික ලේකම්වරයා ය. පිල්ලෙයාන් බැලීමට බන්ධනාගාරයට නිතර පැමිණි අයෙකි, මේ අසාද් මවුලානා යනු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කළ ඉමාම් කමිටු වාර්තාවේ නව වැනි පිටුවට අනුව අසාද් මවුලානා සහ පිල්ලෙයාන් අතර අතිශය සමීප සම්බන්ධතාවක් තිබී ඇත. එසේම සහරාන් සහ අසාද් මවුලානා අතර සම්බන්ධතාවක් තිබූ බවටත්, එම නිසා මවුලානා රටින් පිටවූ බවටත් ඉමාම් කමිටු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ කමිටු වාර්තාවේ 10 වැනි පිටුවේ දැක්වෙන්නේ රිල්වාන්ට, එනම් සහරාන්ගේ සහෝදරයාට 2018 දී ප්‍රතිකාර කළ වෛද්‍යවරයා සහ අසාද් මවුලානා කාත්තන්කුඩි, මරදමුණේ ප්‍රදේශයේ එකට ජීවත් වූ අසල්වාසීහුය. එසේම දෙහිවල එබනිසා පෙදෙසේද ඔවුහු අසල්වාසියෝය. එහි නිවාස දෙකක් දෙදෙනාටම තිබී ඇත. මේ වෛද්‍යවරයා ෂෆ්රාස්ය. ඔහුට 2018 අගෝස්තු 27 වැනිදා අලුයම දුරකතන ඇමතුමක් ලැබී තිබේ. ඒ ඇමතුම ලැබී ඇත්තේ විදේශ රටක සිටි මොහොමඩ් අල්ලියාර් මවුෂූද් රිලාගෙනි.
ජනාධිපති කොමිසමේදී වෛද්‍ය ෂෆ්රාස් පවසා ඇති ආකාරයට රිලා කතා කර පවසා ඇත්තේ තුවාල ලත් පුද්ගලයකුට ප්‍රතිකාර කළ හැකිද යනුවෙනි. මේ තුවාලවලට හේතුව ලෙස දක්වා ඇත්තේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමයි. දුරකතන ඇමතුමෙන් පසු වෙනත් අයකු එහි ඡායාරූපද වෛද්‍යවරයාට එවා ඇත. එහිදී වෛද්‍යවරයා පවසා ඇත්තේ වහාම තුවාලකරු කොළඹ, ජාතික රෝහලට ඇතුළු කරන ලෙසයි.
මේ තුවාල ලබා ඇත්තේ රිල්වාන්ය. එනම් සහරාන්ගේ සහෝදරයාය. ඔහුට ප්‍රතිකාර කිරීමට ඡායාරූප එවුවේ කවුද යන්න තවමත් අනාවරණය කරගෙන නැත. දුරකතන ඇමතුම ගත් රිලා නමැත්තා සහ වෛද්‍යවරයා එකම පාසලේය.
රිලා නමැත්තා මෙරටට පැමිණ 2018 දෙසැම්බර් මාසයේදී මේ වෛද්‍යවරයා මුණගැසීමට ගොස් තිබේ. ඔහු වෛද්‍යවරයා හමු වීමට ගොස් ඇත්තේ සහරාන් සහ තවත් තිදෙනකු සමඟ ය. සහරාන් සමඟ එහි ගියේ කවුද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අනාවරණය වී නැත. මේ වෛද්‍යවරයා 2019 මාර්තු 06 වැනිදා විදේශගත වී ඇත. නැවත මාර්තු 16 ඔහු ලංකාවට පැමිණ තිබේ. ඔහුට එවූ අදාළ තුවාල ලත් පුද්ගලයාගේ ඡායාරූප මකා දමා ඇති බවද වෛද්‍යවරයා ජනාධිපති කොමිසමේදී පිළිගෙන ඇත. ඊට හේතුව ලෙස ඔහු පවසා ඇත්තේ දුරකතනයේ ඉඩ මදි වීමය.
සහරාන් ඇතුළු පිරිස 2018 දෙසැම්බරයේදී ඔහු හමු වී ඇත්තේ වෛද්‍යවරයාගේ කොළඹ නිවෙසේදීය. ඔහුගේ කොළඹ නිවස යනු දෙහිවල, එබනිසා පෙදෙසේ පිහිටි අසාද් මවුලානාගේ නිවෙස ආසන්නයේ පිහිටි නිවෙසයි. ඉමාම් කමිටු වාර්තාවේද මේ නිවාස කතාව ගැන ඇත. විනිසුරු ඉමාම් කමිටු වාර්තාවට අනුව ෂෆ්රාස් නම් වෛද්‍යවරයාට විදේශගත වීමට සහය දී ඇත්තේද අසාද් මවුලානාය. එනම් පිල්ලෙයාන්ගේ ලේකම්වරයාය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ සුවිශේෂ කරුණු රැසක් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිළුමිණ