අවුරුදු 05කින් වත්මන් ආණ්ඩුවේ කාර්යභාරය අවසන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 1971 අරගලය තුළ ආත්මාර්ථකාමීත්වය නොතිබූ බව සඳහන් කළ ප්‍රධාන ලේකම්වරයා, විශාල මහජන ව්‍යාපාරයක් නිර්මාණය කර වර්තමානයේ බලය ලබාගත් බවද සඳහන් කළේය.
විපක්ෂය බලා සිටින්නේ රටට විපතක් වී හෝ තමන්ට බලය ලැබේ යැයි කියා බවද පැවසූ ටිල්වින් සිල්වා මහතා, විපක්ෂයේ සිටින එක් කණ්ඩායමක් බලය සඳහා පාස්කු ප්‍රහාරය දක්වාත් ගියේ යැයි කියා මිනිස්සු සැක කරනවා යැයිද කීය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (05) වවුනියාවේ පැවැති 55 වැනි අප්‍රේල් විරු සමරුව අමතමිනි. ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සැමරුම සංවිධානය කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණෙනි.
එහිදී විරුවන් සිහිකරමින් උපහාර දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, එහි මධ්‍යම කාරක සභික ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්, එහි වවුනියාව දිස්ත්‍රික් සංවිධායක නියෝජ්‍ය ඇමැති උපාලි සමරසිංහ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විරුවන්ගේ පවුල්වල සාමාජික, සාමාජිකාවන් විසින් සිදු කරන ලදි. ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා එහිදී දමිළ බසින් ජනතාව ඇමතීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා,
“මේ මොහොතේ මෙවැනි සැමරුම් කීපයක් පැවැත්වෙනවා. බදුල්ලේ ලාල්කාන්ත සහෝදරයාගේ මූලිකත්වයෙන් හා විජිත හේරත් සහෝදරයාගේ මූලිකත්වයෙන් මාතර සැමරුමක් පැවැත් වෙනවා. රට පුරා තවත් සැමරුම් පවත්වමින් අත්දැකීම් බෙදාහදා ගන්නවා. මෙතන සැමරුම විශේෂයි, කියා මම හිතනවා. අප පළමු වතාවට තමයි උතුරේ මෙවැනි විශාල සමුළුවක් පවත්වන්නේ. අප ආණ්ඩු බලය තුළ සිටින අවස්ථාවකයි මෙය පවත්වන්නේ.
මෙතැන දමිළ භාෂාව කතා කරන සහෝදර සහෝදරියන් වෙනුවෙන්ද මම චවන කීපයක් ප්‍රකාශ කරනවා. අප මෙතෙන්ට පැමිණ සිටින්නේ මීට වසර 55කට පෙර සිදුවූ ජනතා නැඟිටීමක් අනුස්මරණය කරන්න. 1971 අරගලය නිර්මාණය වුණේ ඇයි? එම සහෝදරවරු සටන් කළේ, පොදු අරමුණක් වෙනුවෙන්. අපේ රටට සැබෑ නිදහස ගෙනෙන්න. රටේ සියලු දෙනාටම සමානව ජීවත් විය හැකි සමාජයක් හදන්න.
අයුක්තිය, අසාධාරණය නැති ලෝකයක් නිර්මාණය කරන්න. ජාතිවාදයෙන් තොර සමාජයක් හදන්න. එදා ඔවුන්ගේ එම අරගලය පරාජයට පත් වුණත් ඔවුන්ගේ යහපත් අරමුණු අප දිගටම අරගෙන ආවා. අප කිසිම දුෂ්කර අවස්ථාවක එම යහපත් අරමුණු අත්හැරියේ නැහැ. ජාතික ජන බලවේගය ගොඩනඟා ආණ්ඩු බලයට පැමිණීමට.
දැන් අපට ආණ්ඩුවක් තිබෙනවා. මේ ආණ්ඩුව කාගේ ආණ්ඩුවක්ද? මේක අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ආණ්ඩුව. ජාතිවාදය අවුස්සන්නේ නැති ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා. සැමට සාධාරණව සලකන ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා. මහජන මුදල් සොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා.
පොදු ජනතාව වෙනුවෙන් මහන්සි වෙන ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා. අලුත් සමාජයක් හදන්න පොරබදන ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා. සහෝදරත්වයෙන් බය නැතිව ජීවත් වෙන්න පුළුවන් ආණ්ඩුවක් දැන් අපට තිබෙනවා. ඉතින් අප මේ ආණ්ඩුව ආරක්ෂා කළ යුතු නැද්ද? ඒ නිසා අප හැම දෙනාගේම වගකීම තමයි මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම.
අප මේ ආණ්ඩුව ආරක්ෂා කරන්නෙ මොකටද?
එය සිදු කරන්නේ අප කාටවත් පෞද්ගලික දෙයක් ලබාගැනීමට නොවෙයි. මේ සමාජය වෙනස් කරමින් වඩාත් සාධාරණ යුක්තිගරුක සමාජයක් බවට පත්කරන්න අපට අවශ්‍යයි. 1971 දිවි පිදූ සහෝදර, සහෝදරියන්ගේ බලාපොරොත්තු ඉටුකරන තැනට අප යා යුතුයි. අප කතා කරන භාෂාව නිසා, අප අඳින ඇඳුම නිසා, අප පදිංචි ප්‍රදේශය නිසා කිසිවකුට වෙනස්කම් නොකරන, හැමෝටම යුක්තිය තියෙන, සැමට සාධාරණව සලකන සමාජයක් අප හදන්න ඕනෑ. නීතිය සැමට සාධාරණ විය යුතුයි. ඒ සඳහායි අප කටයුතු කරන්නේ. එයට මෙම ආණ්ඩුව අවශ්‍යයි.
අප මේ වන විට දුෂ්කරතා මධ්‍යයේ ගමනක් පැමිණ තිබෙනවා. ඉදිරියටත් අපට බාධා තියේවි. විරුද්ධවාදීන් බාධා කරාවි. ඒ සියලු බාධා මැඬගෙන අප ඉදිරියට යන්න ඕනෑ. විනාශ කළ රටක් හදන්න අපට, ඔබට සිදුවී තිබෙනවා. බංකොලොත් වූ රටක් ගොඩනඟන්න අපට සිදුවී තිබෙනවා. ඒ වෙනුවෙන් අපට ගොඩක් මහන්සි විය යුතුව තිබෙනවා. ඒ සඳහා කැපකිරීම් කළ යුතු වෙනවා. 1971න් ඒ සඳහා අපට ආදර්ශ ගත හැකියි.
අප රට ගොඩනඟන කටයුත්තේදී මහජනතාවගේ ආණ්ඩුවට විරුද්ධ වන බලවේග පරද්දමින් ජයග්‍රහණය කරා ඉදිරියට යා යුතුයි. අප සෑම දෙනාම එකතුවී අපේ දෑත්වලින් අලුත් සමාජය හදන්න ඕනෑ. එම සාධාරණ සමාජය ගොඩනඟන්න ඕනෑ. සියලු දෙනා එක්වී ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් නව සමාජය නිර්මාණය කිරීමට ඉදිරියට යමු කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ආදරණීය සහෝදර, සහෝදරියනි. අප මීට අවුරුදු 55කට පෙර සිදුවූ සන්නද්ධ නැඟිටීමක් පිළිබඳව කතා කළා. අද මෙතන සිටින බොහෝ දෙනෙක් එදා ඉපදිලා නොසිටින්න ඇති. එදා එතැන හොඳ අරමුණක් තිබූ නිසා අප අද එකතු වී සිටිනවා. හැබැයි අප එකතුවී සිටින්නේ නිකන් සමරුවක් කරන්න නොවේ. 1971 අරගලය කියන්නෙ අපට අත්දැකීම් එකතු කරගන්න සිදුවීමක්.
ලෝකය පුරා විවිධ අරගල පැවතියා. අරගලවලින් ලෝක ඉතිහාසය පිරී තිබෙනවා. හැබැයි ඒ හැම අරගලයකම අරමුණු හොඳ නොවෙන්න පුළුවන්. අපේ රටේ සිදුවූ 1971 අරගලයේ පවිත්‍ර අරමුණු පවතිනවා. එහිදී දිවි පිදූ අය දිහා බැලුවහම අප දකින්නෙ මොකක්ද?. ඔවුන් ආත්මාර්ථකාමී අරමුණකින් අරගලයට ආපු අය නොවෙයි.
සමාජයක් වෙනුවෙන්, රටක් වෙනුවෙන්, දේශපාලනය වෙනුවෙන්, නව සමාජයක් නිර්මාණය කිරීමට අපේ පන්තියට දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් සටන් වැදීමට මෙන්ම දිවි පිදීමට පුළුවන් කියා 1971 පරපුර ඔප්පු කළා.
තමන්ට රස්සාවක් ගන්න, තනතුරක් ගන්න, ඇමැතිකම් ගන්න කිසිම හීනයක් ඔවුන් තුළ තිබුණේ නැහැ. ඔවුන් රෝහණ සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් 1965 දේශපාලනයක් පටන් ගත්තා. අපේ තිබූ පරණ සමාජය වෙනස්කර වඩා හොඳ, වඩා යහපත් සමාජවාදී සමාජයක් නිර්මාණය කිරීම එහි අරමුණයි.
තමන්ට ජීවත් වෙන්න යහපත් ලෝකයක් නිර්මාණය කරගැනීමට ලෝකයේ ඉපදුන මිනිසුන්ට අයිතියක් තිබෙනවා. ඒ අයිතිය සඳහා කටයුතු කරන විට එදා සිටි පාලක කණ්ඩායම් ඒ සඳහා විරුද්ධ වුණා. ඒ නිසයි 1971 අරගල නිර්මාණ වුණේ. එහි අඩුපාඩුකම්වලට වඩා ගත යුතු වටිනා දේ තිබෙනවා. 1971 සිදු වුණේ, මානවවාදී, දුක්විඳින මිනිසුන්ට වඩා හොඳ සමාජයක් නිර්මාණය කරදීමේ අරගලයක්. ඒ අරගලයේ ප්රජාතන්ත්රවාදයත් තිබුණා. ඒ තුළ විනයක් හා සදාචාරයක් තිබුණා. එහෙම අරගලයක අද්දැකීම් තමයි අප මේ බෙදාගන්නෙ.
කිසිම කෙනෙක් මැරෙන්න කැමැති නැහැ. හැබැයි හොඳ අරමුණක් වෙනුවෙන් මරණය තෝරාගන්න මිනිස්සු සිටිනවා. තමන් ජීවත් වන සමාජයේ ගැටලු තිබෙනවා නම්, වඩා හොඳ සමාජයක් නිර්මාණය කිරීමේ අයිතිය ජනතාවට නැද්ද? ඒ සඳහායි අප එදා ක්‍රියා කළේ. 1970 අගෝස්තු මාසෙ 12 දින එවකට සිටි රාජ්‍ය ආරක්ෂ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රාජ්කුමාර් රත්නවේල් කියන මහත්තයා නිවේදනයක් නිකුත් කරනවා.
රටේ හිස ඔසවමින් සිටින චේ ගුවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ මූලික හතුරාය, එය හඹා ගොස් මුලිනුපුටා දැමිය යුතුය කියා. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණ අායුධ අරගෙන නැහැ. ඒ අනුව ආණ්ඩුව තීරණය කරනවා අපේ ව්‍යාපාරය විනාශ කළ යුතු බව. ඊට පසුව ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ වෙනවා.
මොකවත් තේරෙන්නේ නැති විපක්ෂයක් අපට සිටිනවා. එවැනි කණ්ඩායම් සමඟ අපට සටනක් තිබෙනවා. 1818 කැරැල්ල, මාතලේ කැරැල්ල අපට ඉතිහාසයේ මතකයි. කැරැල්ලක් සඳහා සමාජයේ අවශ්‍යතාවක් තිබිය යුතුයි. අපේ ව්‍යාපාරය සටන්කර ගොඩනඟපු ව්‍යාපාරයක්. දණින් වැටෙන්නේ නැහැ, දෙපයින් සිට සටන් කර අවශ්‍ය නම්, දිවි පුදන්නත් සූදානම් කියා ඔප්පු කළ ව්‍යාපාරයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ.
හැමදාම මිනිසුන් පීඩාවට පත්කරන්න බැහැ. 1971 ප්රජාතන්ත්රවාදය අහිමි කළ නිසා ඒ සටන සන්නද්ධ අරගලයක් වුණා. හැබැයි අප දන්නවා පසුගිය 2022, 2023 කාලයේදී ප්රජාතන්ත්රවාදය අහෝසි කරන්න නොහැකි වූ නිසා ඒක ප්රජාතන්ත්රවාදය අනුව සිදුවූ මහා නැඟිටීමක් බවට පත්වුණා. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාට යන්න සිදු වුණා. නාමල් රාජපක්ෂ දැන් රුඟුවාට මහජන විරෝධය නිසා හැංඟිලා සිටියා. මේ සියලු අත්දැකීම් සමඟ අප නව සමාජයක් නිර්මාණය කරන්න කටයුතු කරනවා.
අපට තිබෙන්නෙ දේශපාලනයෙන් විසඳන බාධක. මේක අලුත් ආණ්ඩුවක්. මේක ඉතිහාසයේ පළමු වතාවට මුළු රටම එකතුවී හැදූ ආණ්ඩුවක්. අලුත් සමාජයක් හැදීමේදී විවිධ දුෂ්කරතා තිබෙනවා. අප ඇවිත් මාස ගණනාවකින් ජනතාවට සහන දුන්නා.
චීනය වත්මන් තත්ත්වයට ගෙන ඒමට විශාල කාලයක් ගත්තා. ඒ නිසා අවුරුදු 05කින් අපේ කාර්යභාරය අවසන් වෙන්නෙ නැහැ. එක රැයකින් මුළු සමාජයම වෙනස් කරන්න බැහැ. ටොපිය කාලා කොළය මඟ දමන්නේ නැති අලුත් පරපුරක් අපට අවශ්‍යයි. ක්ලීන් ශ්‍රී ලංකාවක් අපට අවශ්‍යයි. කරුණු කියාදී, නීති හදලා අප සමාජය වෙනස් කළ යුතුයි.
අප හදාගත්තු න්‍යාය පත්‍රයකම අපට යා නොහැකි වේවි. රට හදන්න අප වැඩ කරන විට දිට්වා සුළි කුණාටුව පැමිණියා. හැබැයි අප ජනතාවගේ ගැටලු ඉක්මනින් විසඳුවා. මාලිමා ආණ්ඩුව එයට නිවැරදිව මුහුණ දුන්නා. දැන් මැදපෙරදිග යුද්ධය පැමිණියා. ඒක අප විසින් සිදු කළ දෙයක් නොවේ.
අප විශාල මහජන ව්‍යාපාරයක් නිර්මාණය කර තමයි බලය ලබාගත්තේ. දැන් විපක්ෂය බලා සිටින්නෙ රටට විපතක් වී හෝ තමන්ට බලය ලැබෙයි කියා. මේකද විපක්ෂයේ කාර්යය. අපේ විපක්ෂය කියන්නෙ රටට විපතක්. විපක්ෂය කරන කුමන්ත්රණවලට මුහුණ දෙන්න අපට පුළුවන්. 1971 අරගලයේ සිට මේ දරාගැනීම අපට පැමිණියා.
විපක්ෂයේ සිටින එක් කණ්ඩායමක් තමයි බලය සඳහා පාස්කු ප්‍රහාරය දක්වාත් ගියේ කියා මිනිස්සු සැක කරනවා. මිනී මතින් බලය ගන්න පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියා අපේ සමාජයේ මතයක් තිබෙනවා. ඔවුන් ඒක දිනපතා තහවුරු කරනවා. මේ දිනවල පාස්කු ප්‍රහාරය පිළිබඳව පර්යේෂණ සිදු වෙනවා. ඒ පිළිබඳව අවධානය වෙනත් දෙසකට යොමුකරන්න අන්න මහ මොළකරුවො පොත් ලියනවා.
ඇත්ත මහ මොළකරුවන් දෙසට පර්යේෂණ යන විට නැහැ නැහැ එයා නොවේ, මහ මොළකරු මෙයා කියා පොත් ලියනවා. හැබැයි මිනිහා අපට මහ මොළකරුවො ටික පෙන්නුවා. පොත භාරගන්න මහ මොළකරුවො සෙට් එකම ආවා. ඇත්ත විත්තිකරුවා හංගන්න රකින්න සමහරු පොත් ලියනවා. එවැනි බාධා අපට තියෙනවා.
කැප කරන්න පුළුවන් පක්ෂයක් හැම තැනම නැහැ. දැන් ලංකාවේ එහෙම පක්ෂයක් තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය. ඒ සඳහා ආදර්ශය ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ. අප අවසන් ජයග්‍රහණය කරා ගමන් කරනවා. අතීතයේ අප පක්ෂයට විවිධ අවලාද නැඟුවා. අප ආවොත් පන්සලට දානෙ දෙන්න ඉඩ දෙන්නෙ නැහැ කීවා. ඒවා වෙනස් කරන්න අපට යම් කාලයක් ගත වුණා.
වර්තමානයේ සමාජය දියුණුයි. විපක්ෂයට වඩා ඉස්සරහින් තමා තරුණ ප්‍රජාව ඉන්නෙ. දැන් අපේ රටේ ජනතාව අතර විශ්වාසය, සහෝදරත්වය හැදෙමින් සිටිනවා. මෙතන අද සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සිටිනවා. 1971 අරගලය අපට මනුෂ්‍යත්වය පිළිබඳව කියා දුන්නා. දූෂිත නැති ආණ්ඩුවක් අපට තිබෙනවා. අපට දැවැන්ත නිවැරදි තීන්දු ගන්න පුළුවන් බව ලෝකයා විශ්වාස කරනවා. අප මරා දැමුවද අප නැගූ හඬ සදා නොමියෙනු ඇත යනුවෙන් රෝහණ විජේවීර සහෝදරයා ප්‍රකාශ කළා. පොතක් ලීවා. අරමුණ හොඳයි නම් කිසිවකුට කිසිවෙක් පරද්දන්න බැහැ.
අපි උත්සාහ කරන්නෙ විදුලි කප්පාදුවක් නැතිව රට ගෙනියන්න. මේ සඳහා ජනතාවගේ සහාය අවශ්‍යයි. ඒ සඳහා අපේ ගෙදර විදුලිය භාවිතය අඩු කරමු. අපි වැරදි නොකරන ආණ්ඩුවක්. ජනතාව ඒ ගැන විශ්වාසය තියාගන්න. අනෙකාගේ දුක තමන්ට දැනෙන්න ඕනෑ. අපට සහකම්පනය අවශ්‍යයි. අපට ‘පොහොසත් රටක් -ලස්සන ජීවිතයක්‘ අවශ්‍යයි.