පොත් රඳවා ගැනීම ගැන රේගු ලොක්කා කියන කතාව මෙන්න

5.1 4

ඉන්දියාවේ සිට ආනයනය කරනු ලැබූ කෘති කිහිපයක් රේගුවේ රඳවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබේ. ආනයනය කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් රේගුව සාමාන්‍යයෙන් අනුගමනය කරන නීතියම පොත-පත සඳහාද ක්‍රියාත්මක වන්නේද? නැත් නම් මුද්‍රිත ප්‍රකාශන පිළිබඳ ක්‍රියාත්මක වන නීති කවරේද? මේ, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සමඟ ‘සිළුමිණ’ මේ කරුණු අරබයා කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකසුණු ලිපියකි.

ආනයනය කරනු ලබන භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව කටයුතු කරන්නේ රේගු ආඥා පනතට අනුවයි. මේ පනතට අනුව, ආනයනය තහනම් කරන ලද භාණ්ඩ හා ආනයනය සීමා කරන ලද භාණ්ඩ වශයෙන් භාණ්ඩ ප්‍රවර්ග දෙකක් තිබෙනවා. උදාහරණයක් ලෙස: විෂ මත්ද්‍රව්‍ය කිසි ලෙසකින් හෝ ආනයනය කළ නොහැකියි. එමෙන්ම නිෂ්පාදිත වර්ෂයෙන් වසර 3කට වඩා පැරණි මෝටර් රථ ආනයනයට හැකියාවක් නැහැ. ඒ කාල සීමාවට වඩා පැරණි මෝටර් රථයක් ආනයනය කරන්නේ නම් ආනයන පාලකගේ අනුමැතිය ගත යුතුයි. ඒ ලෙස විවිධ සීමා පනවා තිබෙනවා.

ඒ ලෙස, අප සියලු රේගු නිෂ්කාශන කටයුතු කරන්නේ රේගු ආඥා පනතට අදාළවයි. ආනයනය කරනු ලබන මෝටර් රථ වේවා, විදුලි උපකරණ වේවා, වෙනත් ඕනෑම භාණ්ඩයක් වේවා, රේගු ආඥා පනතට අනුව තමයි ආනයනය කළ යුත්තේ. ආනයනය කරනු ලබන පොත්-පත්, සඟරා ආදි සියලු මුද්‍රිත ප්‍රකාශනත් මේ නීතියට යටත්. විශේෂයෙන්ම පොත්-පත්, ප්‍රකාශන ආදිය සලකා බැලූ විට අප ප්‍රධාන කරුණු දෙකක් ඔස්සේ ඒ ගැන සලකා බලනවා.

එහිදී, විශේෂයෙන්ම ඒ කෘති මඟින් යම් ආගමකට, ආගමික නායකයකුට අපහාස වනවාද, එසේත් නැත් නම් ආගමික සංහිඳියාවට බාධාවක් ඇති වනවාද යන්න කෙරෙහි අවධානය යොමු කරනවා. ඒ වගේම තවත් ප්‍රධාන සාධකයක් වන්නේ ජාතීන් අතර සමඟිය, සාමය සම්බන්ධයෙන් අර්බුද ප්‍රශ්න පැනනඟින කරුණු එහි අඩංගු වන්නේද යන්නයි. එමෙන්ම, ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට යම් අනුබලයක් දෙන, රට දෙකඩ කිරීම් ආදිය සම්බන්ධයෙන් ප්‍රචාරණයක් කෙරෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන, ඊට පටහැණි කරුණු අඩංගු වන කෘති ආනයනය කිරීමට රේගු ආඥා පනතට අනුව අවසර නෑ.

රේගු ආඥා පනතේ ‘බී’ උප ලේඛනයේ මෙරටට ආනයනය කළ හැකි භාණ්ඩ හා ආනයනය කළ හැකි ආකාරයන් පැහැදිලිවම තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියට අනුවද ආනයනය කළ හැකි/ නොහැකි වර්ගීකරණ හා ඊට අදාළ ප්‍රතිපාදන පැහැදිලියි.

ආනයනය කරනු ලබන සියලු පොත්-පත්/ සඟරා/ ප්‍රකාශන මුල සිට අගට පරීක්ෂා කිරීමක් සිදු වන්නේ නැහැ. අනෙක් භාණ්ඩ මෙන්ම යම් සැකයක් ඇති වුව හොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කරනවා. ඒ අනුවයි කටයුතු සිදු වන්නේ. පසුගියදා රේගුව විසින් රඳවා ගනු ලැබූ කෘති පිළිබඳ කතා කළත්, අපට පැහැදිලිවම පෙන්වා දිය හැක්කේ ඒ කරුණුම තමයි.

යම් කෘතියක ත්‍රස්තවාදයට පිටිවහලක් විය හැකි හෝ මෙරට ආරක්ෂාවට තර්ජනයක් විය හැකියැයි සැක සහිත කරුණු අන්තර්ගතව ඇතැයි සැකයක් මතු වුව හොත්, අප ඒ කෘති හෝ ප්‍රකාශන සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරුණු විමසා සිටිනවා. එමෙන්ම, ආගමික හෝ සංස්කෘතික ගැටලුවක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුව හොත්, ඒ සම්බන්ධයෙන් ආගමික/ සංස්කෘතික අමාත්‍යාංශවලට යොමු කර, ඒ අනුකමිටුවල නිර්දේශ අනුව තමයි අප කටයුතු කරන්නේ.

පසුගිය දිනවල ආන්දෝලනයකට තුඩු දුන්, දීපචෙල්වන් ප්‍රදීපන් විසින් රචිත කෘති කිහිපය සම්බන්ධයෙන් අප අනුගමනය කළේත් ඒ ක්‍රියාදාමයමයි. එහිදී දීපචෙල්වන් විසින් රචිත, ඉන්දියාවේදී මුද්‍රණය කරන ලද කෘති කිහිපයක පිටපත් 360ක් පමණ ආනයනය කර තිබුණා. එයින් කෘති 4ක් සම්බන්ධයෙන් රේගු නිලධාරීන්ට සැක මතු වී, එම කෘති රඳවාගෙන ආනයනකරුට දන්වා ඇත්තේ ඒ සඳහා අනුමැතියක් ගෙන රේගුවට ඉදිරිපත් කරන ලෙසයි. එහෙත් ඒ ආනයනකරු එය නොසලකා හැර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

පසුව ඒ ගැන ඇති වූ කතිකාව නිසා ශ්‍රී ලංකා රේගුව විසින්ම ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිර්දේශ ඉල්ලා සිටිනු ලැබුවා. එමෙන්ම සංස්කෘතික ඇමැතිවරයාගේ දැනුවත් කිරීම අනුව වඩාත් සුදුසු වන්නට ශ්‍රී ලංකා කලා මණ්ඩලයටත්, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයටත් අප ඒ කෘති යොමු කළා. ඒ අනුමණ්ඩල දෙකේ නිර්දේශ වුණේ ප්‍රබන්ධ ශෛලියේ නැත් නම් නවකතා වශයෙන් සැලකිය හැකි කෘති දෙකේ පිටපත් නිදහස් කිරීම සුදුසු බව සහ සෙසු කෘති දෙක සම්බන්ධයෙන් රේගු ආඥා පනතට අනුව කටයුතු කරන ලෙසයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයත්, එකී අනුමණ්ඩල දෙක හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවක් එක්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රබන්ධ ශෛලියේ කෘති දෙකේ පිටපත් නිෂ්කාශනය කිරීමටත්, අනෙක් කෘති දෙකේ පිටපත් රඳවා ගන්නත් කටයුතු කර තිබෙනවා. එමෙන්ම, අප මේ සම්බන්ධයෙන් ආනයනකරුට දැනුම් දුන් අතර, ඒවායේ කර්තෘ දීපචෙල්වන් සමඟත් සාකච්ඡා කළා. ඉන් අනතුරුව තමයි මෙලෙස තීරණය කර තිබෙන්නේ.

theepachelvan1

මෙහිදී යළිත් අවධාරණය කළ යුතු ප්‍රධාන කරුණු දෙක වන්නේ රේගුව ක්‍රියා කරන්නේ රේගු ආඥා පනතට අනුවයි. එමෙන්ම රේගුවේ තීරණය අවසන් තීරණය ලෙස නොසලකා, ඕනෑම රඳවා ගැනීමක් සම්බන්ධයෙන් ආනයනකරුවකුට අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන්.

එසේත් නැත් නම්, රේගුවේ තීරණය පිළිගෙන රඳවා ගනු ලැබ ඇති කෘති ආපසු ඉන්දියාවට යවන්න ඔහුට පුළුවන්. නැත් නම් ඒවා රාජසන්තක කරනවා.

එහෙත් මෙහිදී, රාජසන්තත කරනු ලබන මෝටර් රථ හෝ වෙනත් ආනයනික භාණ්ඩ මෙන් මේ කෘති ටෙන්ඩර් කැඳවා අලෙවි කරන්න බෑ. මන්ද: මේ කෘති එලෙස රට තුළට යෑමට දීමට හැකියාවක් නෑ. ආනයනකරු ඒවා යළි අපනයනය නොකළ හොත්, ඒවා විනාශ කර දැමීම හැර විකල්පයක් නෑ.

එවැනි අවස්ථාවල ඒ සඳහා වන පිරිවැය ශ්‍රී ලංකා රේගුවට දැරීමට සිදු වනවා. එපමණක් නොවෙයි; රඳවා තබා ගැනීමේ සිට ඒ සම්බන්ධයෙන් තීරණයක් දෙන තුරු සිදු කළ යුතු කාර්යයන් හා මෙහෙයුම් වෙනුවෙන් වැය කළ යුතු පිරිවැයත් ශ්‍රී ලංකා රේගුවට දැරීමට සිදු වනවා. රේගු ආඥා පනතට අනුව එවැනි අවස්ථාවක ඒ වැය ආනයනකරුගෙන් අය කර ගැනීමට ප්‍රතිපාදන නැහැ.

ඒ වගේම පෙන්වා දිය යුතුයි: මේ සිද්ධියේදීත් දඩ මුදලක් අය කිරීමක් ගැන ශ්‍රී ලංකා රේගුව තීරණයක් ගෙන නැහැ. එවැනි අවස්ථාවක දඩ මුදලක් නියම කෙරෙන්නේ අවස්ථානුකූලවයි.

ඒ කියන්නේ හිතාමතාම රජයට පාඩු කිරීමට ආනයනයක් සිදු කිරීම වැනි කාර්යයක් මෙතැනදී සිදුව නැහැ. උදාහරණයක් ලෙස: රත්රන් හොරෙන් ගෙන ඒම වැනි, රජයට බදු නොගෙවා මඟහැරීමට උත්සාහ කිරීමක් සිදුව නැති නිසා එසේ දඩ ගැසීමක් සිදු කෙරෙන්නේ නැහැ. අපි දැනුම් දෙන්නේ ආනයනය කළ රටටම යළිත් අපනයනය කරන ලෙසයි.

මෙවන් ගැටලු නිර්මාණය වන්නේ රටේ නීතිය ගැන අවධානය යොමු නොකිරීම නිසයි. එම නිසා ග්‍රන්ථ රචකයන් වගේම ග්‍රන්ථ ප්‍රකාශන ආනයනය කරන්නන් අනිවාර්යෙන්ම රටේ නීතියට අනුවම කටයුතු කළ යුතුයි. ඉතා පැහැදිලිව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රේගු ආඥා පනතේ ‘බී’ කොටසේ දක්වා තිබෙනවා. එමෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය දෙස අවධානය යොමු කිරීමෙන් පැහැදිලි අවබෝධයක් තමන්ටම ලබා ගන්නට පුළුවන්.

මෙහිදී කිව යුතු තවත් කරණක් නම්: මේ ලෙස ග්‍රන්ථ හා ප්‍රකාශන සිය ගණනක් ශ්‍රී ලංකා රේගුව විසින් අවස්ථා රැසකදී රඳවා ගෙන තිබෙනවා.

ඇතැම් ආනයනකරුවන් අනුමැතිය ගැනීමෙන් පසු නිදහස් කර තිබෙනවා. ඒ වගේම, එසේ අනුමැතිය ගැනීමට නොහැකි වූ ග්‍රන්ථ, ප්‍රකාශන ආදිය ආපසු ආනයනික රටට යැවීමට ආනයනකරුට දැනුම් දුන් අවස්ථා තිබෙනවා. ඒ කාර්යය ආනයනකරු විසින් මුදල් ගෙවා කළ යුතුයි.

ග්‍රන්ථ ප්‍රකාශන පමණක් නොවෙයි; සිතුවම් ආදිය ආනයනය කළ යුත්තේත් මේ ලෙස, රේගු ආඥා පනතට යටත්වමයි.

රේගු ආඥා පනත අද-ඊයේ ක්‍රියාත්මක වන්නක් නොවෙයි. පාර්ලිමේන්තු පනතකින් අනුමත වී, ක්‍රියාත්මක වන මේ පනත නිසා තමයි රටට තහනම් භාණ්ඩ ඇතුළු වීම වළකින්නේ. ඒ වගේම, රටේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිවකට නීත්‍යනුකූලව රට තුළට ඇතුළු වීමට නොහැකිව තිබෙන්නේ ඒ නිසයි.

සිළුමිණ