2025/26 මූල්‍ය වර්ෂයේදී ආසියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි බදු පෙර ලාභය රුපියල් බිලියන 1.93 දක්වා 203% කින් ඉහළට

images (1)

2026 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ආසියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර, ලාභදායීත්වය, වත්කම් පදනම, සමස්ත ආදායම, වත්කම්වල ගුණාත්මකභාවය සහ ප්‍රාග්ධන ශක්තිය යන සෑම අංශයකින්ම ප්‍රබල වර්ධනයක් වාර්තා කර ඇත. මෙම ප්‍රතිඵල මගින් සමාගමේ විනයගරුක ණය ලබාදීමේ ක්‍රියාවලිය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ ගනුදෙනුකරුවන්, කොටස් හිමියන්, සේවකයින් මෙන්ම ශ්‍රී ලාංකීය ප්‍රජාව වෙනුවෙන් දිගුකාලීන වටිනාකමක් ගොඩනැගීමට ඇති කැපවීම මැනවින් පිළිඹිබු වේ.

සලකා බලනු ලබන වර්ෂය තුළ සමාගමේ සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 53.78 ක් දක්වා වර්ධනය වී ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් බිලියන 37.11 හා සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයකි. වසරේ පොලී ආදායම 52.6% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 9,114.7 ක් ලෙස සටහන් වූ අතර, ශුද්ධ පොලී ආදායම 88.5% ක විශාල වර්ධනයක් සමඟ රුපියල් මිලියන 4,934.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමාගමේ ලාභදායීත්වය සුවිශේෂී ලෙස වර්ධනය වී ඇති අතර, මූල්‍ය සේවා මත වැට් බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය 196.3% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,772.3 ක් විය. බදු පෙර ලාභය 203.0% කින් ඉහළ ගොස් රුපියල් මිලියන 1,926.1 ක් ලෙස වාර්තා වූ අතර, වසරේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 1,038.4 ක් විය. මෙය පෙර වසරට සාපේක්ෂව 135.4% ක වාර්ෂික වර්ධනයකි. කොටසක මූලික උපයන ප්‍රමාණය (EPS) ද පෙර වසරේ පැවති රු. 3.55 සිට රු. 8.36 දක්වා වර්ධනය වී ඇත.

මෙම කාර්යසාධනය පිළිබඳව අදහස් දක්වමින් ආසියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය:

“2025/26 මූල්‍ය වර්ෂයේදී අප ලබාගත් මෙම සුවිශේෂී ප්‍රගතිය අපගේ ව්‍යාපාරික ආකෘතියේ ශක්තිමත්භාවය, අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය මැනවින් පෙන්නුම් කරයි. අපගේ අවධානය නිරතුරුවම යොමු වූයේ විනයගරුක වර්ධනය, වගකිවයුතු ණය දීම සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි ය. ඉදිරියටත් විශ්වාසදායී මූල්‍ය සහකරුවෙකු ලෙස ශක්තිමත් වෙමින්, රටේ ආර්ථික ප්‍රගතියට අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපි කැපවී සිටිමු.”

හතරවන කාර්තුව (Q4) සමාගමේ වර්ධන ගමන තවදුරටත් තහවුරු කළේය. හතරවන කාර්තුවේ පොලී ආදායම රුපියල් මිලියන 2,841.0 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 66.9% ක වර්ධනයකි. එම කාර්තුවේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 358.1 ක් ලෙස වාර්තා වූ අතර, එය 2024/25 මූල්‍ය වර්ෂයේ හතරවන කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 72.7 ක ශුද්ධ අලාභය හා සැසඳීමේදී සමාගමේ ප්‍රබල ප්‍රකෘතිමත් වීම පෙන්නුම් කරයි.

වත්කම්වල ගුණාත්මකභාවය අතින් ද සමාගම සැලකිය යුතු දියුණුවක් ලබා ඇත. ශුද්ධ අක්‍රීය ණය අනුපාතය (Net NPA) 6.00% සිට 2.37% දක්වාත්, දළ අක්‍රීය ණය අනුපාතය (Gross NPA) 12.53% සිට 6.04% දක්වාත් අඩු කර ගැනීමට සමාගම සමත්ව ඇත.

ශාඛා 115 ක ජාලයක්, Fitch A+ (Stable) ස්ථාවර ශ්‍රේණිගත කිරීමක්, Great Place to Work සහතිකය සහ රුපියල් බිලියන 2 ක ණයකර නිකුතුව හරහා රන් ණය කළඹ සාර්ථකව ව්‍යාප්ත කිරීම සමඟින්, ආසියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී නව මූල්‍ය වර්ෂය වෙත පිවිසෙන්නේ ඉහළ විශ්වාසයකින් සහ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවකිනි.