ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහයට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි ඊයේ (12) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවිය.
පැය 2කුත් මිනිත්තු 40කට අධික කාලයක් සාක්ෂි කැඳවනු ලැබීය. එහිදී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරියගේ නැගණිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක (52) මහත්මිය පැයකුත් මිනිත්තු 10ක් සාක්ෂි ලබාදුන් අතර, ඇයගේ සැමියා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා පැයකට අධික කාලයක් සාක්ෂි ලබාදෙනු ලැබීය.
“මම එළියට ඇවිල්ලා දවසක් යන්න කලින් මාව ඇතුළට දාන්න යනවා” කපිල චන්ද්‍රසේන මිය යාමට පෙර දින රාත්‍රියේ දෙවතාවක්ම මා සමඟ පැවසූ බව එහිදී සාක්ෂි ලබා දෙමින් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය පංච පුද්ගල වෛද්‍ය මඬුල්ලක් හමුවේ සිදුකළ මරණ පරීක්ෂණයට අදාළ වාර්ථාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ගොනුකළේය. මරණකරුගේ රුධිර සාම්පල, සියදිවි නසාගත් පටියේ කැබලි දෙක, ඇඳ සිටි ඇඳුම් සහ යට ඇඳුම්, මරණකරුගේ දේහය තිබූ කාමරයේ තිබී භාරයට ගත් භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ ඉල්ලීමට අවසර ලැබිණි. එසේම මරණකරු සන්තකයේ තිබී භාරයට ගත් පුද්ගලික බැංකු කාඩ්පත විමර්ශන අවසන් වනතෙක් අක්‍රිය කරන ලෙසත්, ඔහුගේ හැඳුනුම්පතට අදාළ දුරකතන දත්ත කැඳවන ලෙසත් සිදුකළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුනි.
මරණ පරීක්ෂණයට අදාළ කරුණු ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙසේ සඳහන් කළේය.
ස්වාමීණි, පංච පුද්ගල වෛද්‍යවරුන් හමුවේ මරණ පරීක්ෂණය සිදුකළා. කපිල චන්ද්‍රසේන මහතාගේ නිෙවසේ මෙහෙකාරිය වන එස්. ශර්මිලා යන අය ඔහුගේ ඇමතුමකට අනුව එවන ලද පාර්සලයේ තිබී ගෙල වැළලාගත් පටිය හඳුනා ගනු ලැබුවා. මරණකරුගේ දේහය දුටු වෛද්‍යවරයෙක්, නීතිඥවරයෙක් ඔහුගේ නිෙවසේ සහ ඔහු මියගිය නිෙවසේ මෙහෙකරුවන් ඇතුළු අට දෙනකුගෙන් සාක්ෂි කැඳවීමට නියමිතයි. එම ස්ථානයේ තිබූ මරණකරුගේ රුධිර සාම්පලයක් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට අවසර ඉල්ලනවා.
මහේස්ත්‍රාත්වරයා – මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ අදාළ ස්ථානයේ නම සඳහන් නොවන කඩදාසිවල ඔතන ලද ඖෂධ වර්ග දෙක රස පරීක්ෂකට යවන ලෙස නියෝග කළා. එය යොමුකරා ද?
පොලීසිය – ස්වාමීණි එකම නඩු භාණ්ඩය යටතේ ගොනුකර තිබෙන්නේ. මරණ පරීක්ෂණය අවස්ථාවේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළා. ඉදිරි දින වෙන්කර ඉදිරිපත් කරන්නම්. සොකෝ නිලධාරින් එම ස්ථානයට පැමිණියා. රුධිර සාම්පල දෙකක් සහ කෙඳි සාම්පලයක්, එම ස්ථානයේ ඡායාරූප සහ වීඩියෝ සහිත සී.ඩී. තැටියක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකරනවා. මරණකරුගේ ඇඟිලි සලකුණු ලබාගත්තා. එම ඇඟිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලයට යොමුකළා. එසේම මරණකරු සන්තකයේ තිබී ඔහුගේ ජංගම දුරකතන කවරයේ තිබී භාරයට ගත් පුද්ගලික බැංකුවේ කාඩ්පතේ ගිණුම් අක්‍රිය කරන ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
මහේස්ත්‍රාත්වරයා – මුදල් පසුම්බියක් තිබුණා ද?
පොලීසිය – නැත ස්වාමීනි. විමර්ශන කරනවා. ඔහුගේ ඇපල් වර්ගයේ ජංගම දුරකතනය අධිකරණයට ඉදිරිපත් කරනවා. මරණයට අදාළ තොරතුරු ඇති බවට විමර්ශන සිදුකරනවා. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වන්නේ මුහුණ සහිත මුර පදයෙන්. මරණකරුගේ මුහුණට එය යොමුකළත් ප්‍රවේශය ලැබුණේ නැහැ. එහි ආරක්ෂාව ඉහළම තත්ත්වයේ තිබෙන දුරකතනයක්. එම දුරකතනය මවු සමාගමට හෝ වෙනත් සමාගමකට යොමුකිරීමට අවසර ඉල්ලා සිටිනවා.
මහේස්ත්‍රාත්වරයා – රජයේ රස පරීක්ෂකවරයාට පරීක්ෂා කිරීමට නොහැකි ද?
පොලීසිය – මුරපදය මත පරීක්ෂා කිරීමට හැකියි ස්වාමීනි. මෘත ශරීරයෙන් ලබාගත් රුධිර සාම්පලය ගෙලෙහි සහ ඉනෙහි බැඳි පටි කැබැල්ල, මිය යන විට ඇඳ සිටි ඇඳුම් සහ යට ඇඳුම් සොකෝ නිලධාරින් ලබාගත් රුධිර සාම්පල, මෘත දේහය හමුවූ කාමරයේ තිබූ ප්ලාස්ටික් බෝතලය රජයේ රස පරීක්ෂකවරයාට යොමුකිරීමට අවසර ලබාදෙන්න. එසේම ජාතික හැඳුනුම්පත් අංකයට අදාළ දුරකතන වාර්තා ලබාගැනීමට අවසර ලබාදෙන්න. මරණකරුගේ ගෙලෙහි සහ එල්ලී සිටි පටිය ඇතුළු භාණ්ඩ ප්‍රශ්නාවලියක් සමඟ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට අවසර ඉල්ලා සිටිනවා.
මහේස්ත්‍රාත්වරයා – මරණකරු එල්ලුනු දොරේ පෘශ්ඨ පලුදුවීමක් තිබුණා ද? එය පරීක්ෂාකර බැලුවා ද?
පොලීසිය – නැත ස්වාමීනි. කෙඳි සාම්පල ලබාගත්තා. එසේම මෙහෙකාර සේවිකාවන් පටිය රැගෙනයාමට වාහනවල පැමිණි රියදුරන්ගේ දුරකතන වාර්තා කැඳවීමට අවසර ඉල්ලා සිටිනවා.
මෙහිදී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරියගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවසීය.
“මම පදිංචිව සිටින්නේ අංක 37, පෙද්‍රිස් පාර, කොල්ලුපිටිය යන ලිපිනයෙහි. මගේ සැමියා අරවින්ද ද සිල්වා. මියගොස් තිබෙන්නේ මාගේ සහෝදරියගේ සැමියා. ඔහුට දරුවන් දෙදෙනකු සිටිනවා. දැනට මගේ සහෝදරිය ඕස්ට්‍රේලියාවේ පදිංචි. ඇය පසුගිය වසරේ අන්තිම කාලයේ සිට එහි පදිංචියි. ඇයගේ සැමියා රැකියාවක් කළ බවට මට දැනුමක් නැහැ. මාගේ නිවසට නිතරම යන්නේ එන්නේ නැහැ. වසර 10කට පමණ හතර, පස් වතාවක් පැමිණි බවයි මගේ මතකය. ඔහු පාඩුවේ ඉන්න කැමැති කෙනෙක්. ඔහු මා සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙන්නෙත් නැහැ. මාගේ නැගණිය මෙරටට නොපැමිණෙන්නේ නීතිඥවරුන්ගේ අදහස් නිසා වෙන්න ඇති කියලා මම හිතනවා. මමත් නිතරම කතා කරලා නැහැ. ඔවුන්ගේ පවුල් ජීවිතය ගැන මම දන්නේ නැහැ. ඒ දෙන්නා වෙන්වෙලා ඉන්නේ කියලා මම දන්නවා. මාස කිහිපයකට පෙර රිමාන්ඩ් වුණා කියලා මම දන්නවා. ශ්‍රීලන්කන් නඩුවක් සම්බන්ධයෙන් කියලත් මම දන්නවා. ඔහු එම නඩුවෙන් ඇප ලබා පසුගිය 5 හෝ 6 දා අප නිවසට පැමිණියා. ඔහු නිදහස් වුණේ කවදද මට හරියට මතකයක් නැහැ. මහත්තයා කියලා මට මතක නැහැ. ඇප අරගෙන කෙලින්ම ආවේ අපේ ගෙදර. ඔහු තනියමයි ආවේ. ඔහු නිවසට එනවිට සිටියේ මමත් මේරි, මහේෂ්වරී, දෙව්මිණී නැමැති හෙදියයි රාජා යන පිරිසයි. කුමුදු, දිලුක් දෙන්නා ගෙදර හිටියා ද කියලා මට මතක නැහැ. ඒ දෙන්නා රියදුරන්. ඔහු එනවිට මාගේ ස්වාමිපුරුෂයා සිටියේ ඔෆිස් එකේ. ඔහු මුලින්ම හමුවුණේ මාව. ඇවිත් හලෝ අනුෂ්කා කියලා කිව්වා. ඊටපස්සේ කන්න දුන්නා. ආපු ගමන්ම වෝටර්මෙලන් ජූස් දෙකක්ම බිව්වා. පස්සේ වතුර වීදුරුවක් බිව්වා. මම ඔහුට ලම්ප් රයිස් පැකට් එකක් ගෙනත් දුන්නා. පසුව කිරිකෝපි එකකුත් හදලා දුන්නා. ඔහු එනවිට අපි කාලා ඉවරයි. කාලා ඔහු ගෙදර හරි කොහේහරි ගියා. ඊළඟ දවසේ බ්‍රහස්පතින්දා සවස 4ට වගේ අපේ නිවසට ඔහු ආවා. ඒත් තනියමයි ආවේ. ඒ වෙලාවේ මගේ පොඩි පුතත් සිටියා. ඇවිත් යතුර මට දුන්නා ගෙදර කාර් එක දාලා එන්න කියලා. ඊටපස්සේ මම රියදුරා අතේ යැවුවා. මගේ මහත්තයා ඔහු එනවිට සිටියේ නැහැ. ඔහු කොන්ෆරන්ස් එකකමයි ආවේ. 7.30ට පමණ ආව ඔහු කපිල ඉන්න බව දැක්කා. කතාකළේ නැහැ. කපිල හමුවෙන්න අපේ නිවසට කවුරුත් ආවේ නැහැ. මගේ ස්වාමිපුරුෂයා ඩීඑස් කොලේජ් එකට ගියා වැඩකට. පැයකට පසු මට කෝල් කරලා පහළට එන්න මට ලෝයර් හමුවෙන්න යන්න ඕන කියලා කිව්වා. ලෝයර් හමුවෙන්න යනකොට ඇප තියන්න ආපු චමිල් සහ ශාලික ඇතුළු අය අපිත් එක්ක යන්න ආවා. අනිත් අයගේ නම් මම දන්නේ නැහැ. නීතිඥවරයා හමුවී එනවිට අපි රෑට කෑම ගෙනාවා. අපි ආපු නිසා කපිල පහළ තට්ටුවට බැස්සට රාත්‍රී ආහාර ගත්තේ නැහැ. මම පුතා සමඟ 10.45ට පමණ උඩට ගියා. ඊට පස්සේ මම කපිලව දැක්කේ නැහැ. කපිල අපේ නිවසට එනවිට ඇඳුමක් ගෙනාවේ නැහැ. කළුපාට ටීෂර්ට් එකක් සහ කළු කලිසමක් ඇඳ සිටියා. කපිලට අපේ ලොකු පුතාගේ කාමරය හදලා දුන්නා. පසු දින උදේ 4ට මම අවදි වුණා. උදේම මම බුදු කුටියට යනවා.
උදේම මම බුදුන් වඳිනවා. කපිලගේ කාමරය තිබුණෙත් අපේ කාමරය ළඟමයි. බුදු කුටියත් ඒ අසළ තිබුණේ. කපිල නැඟිටලා එළියට ආවේ නැහැ. කාමරය වසා තිබුණේ. 6ට විතර මම පුතාවත් නැඟිට්ටවලා මම වැඩට යන්න ලැහැස්ති වුණා. ඊටපස්සේ ලෝයර් ඇවිත් ඉන්නවා, තේ එකක් දෙන්න කියලා මහත්තයා මට කිව්වා. කපිලට කෝල් කළා ෆෝන් ආන්සර් කරන්නෙත් නැහැ. දොර අරින්නෙත් නැහැ කියලා මහත්තයා කිව්වා. දොර අරින් නැති නිසා මගේ ගාව තිබුණ හැම දොරක්ම අරින්න පුලුවන් මාස්ටර් කී එකෙන් කපිලගෙ කාමරයේ දොර ඇරියා. ඒ යතුර තිබුණේ මගේ ගාව. මමයි ලෝයයි තමයි දොර අරිනකොට හිටියේ. ඇතුළට ඉස්සෙල්ලාම නීතිඥ මහත්තයා ගියේ. මම දැක්කා කපිල දොරළඟ වැටිලා ඉන්නවා. බාත්රූම් එකේ දොර පැත්තට පුටුව හරවලා තිබුණා. ඇඳේ කපිල සිටියේ නැහැ. ලෝය කිව්වා එළියට යමු කියලා. වෛද්‍යවරයකුට කතා කරන්න ඩර්ඩන්ස් රෝහලට කතා කළා. අසනීපයක් නම් ඩොක්ටර් කෙනකුට පෙන්වන්න ඕන නිසා එහෙම කළේ. ඇම්බියුලන්ස් එකයි ඩොක්ටර් කෙනෙකුයි එහි ආවා. ඒ අවස්ථාවේ පහළ තට්ටුවේ මම සිටියේ. මම ඔෆිස් එකට කතා කරලා වැඩට එන්නේ නැහැ කියලා කෝල් කළා. මෙතන ප්‍රශ්නයක් වෙලා කියලා දැනගත්තා. එක්කෝ එයා ලෙඩවෙලා, එක්කෝ එයා මැරිලා කියලා මට තේරුණා. කපිල සියදිවි නසාගන්නවා කියලා මට කියලා නැහැ. ඒත් රෑ ස්ට්‍රෙස් වෙලා කියලා මට තේරුණා. ස්වාමිපුරුෂයා පොලීසියට දැනුම් දුන්නා. වෛද්‍යවරු පැමිණ ඔහු මියගොස් ඇති බව කීවා. ඔහුගේ දේහය පොලීසියෙන් රැගෙන ගියා. මම රෝහලට ගොස් ඔහුගේ දේහය හඳුනාගත්තා. මෘත දේහය බොරැල්ල කනත්තේ වළ දැමීම සිදුකළා.”
මහේස්ත්‍රාත්වරයා – මරණකරු සිටියේ ඔබගේ ලොකු පුතාගේ කාමරයේ බව ඔබ කිව්වා. ඒ අවස්ථාවේ ඔහු කොහේද සිටියේ.
සාක්ෂිකාරිය – ඔහු උසස් අධ්‍යාපනයට පිට රට සිටින්නේ.
අරවින්ද ද සිල්වා මහතා සාක්ෂි ලබාදෙමින් මෙසේ කියා සිටී.
“මියගොස් සිටින්නේ මාගේ බිරියගේ සොයුරියගේ සැමියා. ඔහු මොබිටෙල්, ශ්‍රීලන්කන් සමාගම්වල ඕස්ට්‍රේලියාවේ සේවය කළා. ඔහුට ඇප ලැබුණේ පස්වෙනිදා. මම ඔහු බලන්න වරින් වර බන්ධනාගාරයට ගියා. ඇප මුදල් ලෑස්තිකරන්න කියලා කිව්වා. 2020 ඇප දුන්න කෙනාට කතා කරලා අඳුරන කෙනෙක් මාර්ගයෙන් බර්ටි කියන අය ඇප කරුවන් දෙදෙනෙක් ලෑස්ති කලා. ලෝයර් කතාකරලා කිව්වා පදිංචි සහතික අවශ්‍යයි කියලා. සුමානයක් කල් ගන්න පුළුවන්ද කියලා මම ඇහුවාම ඔහු කිව්වා වෙන දෙන්නෙක් ලෑස්ති කරන්න කියලා. මගේ මවගේ රියදුරා දන්න කපිලවත් දන්න, චමිල කියලා කෙනෙක් ඇපකරුවන් සම්බන්ධ කළා. ඒ ඇපකරුවයි, මගේ ඔෆිස්එකේ ගනේෂ් පෙරුමාලුයි මුදල් ලක්ෂ 5ක් ගෙවලා ඇප අත්සන් කළා. ඊට පසු දින අනෙක් ඇපකරුවන් ඉදිරිපත් කරන්න. කපිල නිදහස් කරගන්න පුළුවන් කියලා ලෝයර් කිව්වා. එදා ඇප ලැබුණේ නැහැ. පසු දින ඇප තියලා කපිල ගෙදර ආවා. මම වයිෆ්ට කිව්වා ඔහුට මොනවා හරි කන්න දෙන්න කියලා. ඔහු කාලා ගෙදරගොස් ඊළඟ දින නැවත පැමිණියා. කෝල් එකක් දීලා ටික වේලාවක් කතාකරලා කවුරුත් නැතිවෙලාවේ උදවු කළාට බොහොම ස්තුතියි කියලා මට කිව්වා. ඇප තියපු සල්ලි එවන්න ගනේෂ් එවන්න කිව්වා. දවල් ගනේෂ් කපිලගේ ගෙදරට යැව්වා. මම ඔෆිස් ඉද්දි කපිලට නැවත ප්‍රශ්නයක් වෙලා කියලා මම දැනගත්තා. මම ඔහුට කෝල් කළා. ඔහු කිව්වා නැවත බාරවෙන්න වෙනවා කියලා. මට ඒ ප්‍රශ්නය ගැන තේරුමක් තිබුණේ නැහැ ලොකුවට. මැලේසියාවේ ක්‍රිකට් මැච් එකකට අපිට යන්න තිබුණා. ඒකට මැලේසියාවේ වීඩියෝ චැනල් එකක ඔන්ලයින් ඉන්ටවිව් එකක් තිබුණා. මම ඒක ඉවරකරනවා ඔයා එන්න කියලා කපිලට කිව්වා. මම යනකොට එයා හිටියා. අපි ලෝයට කතා කළා. ඩී එස් විදුහලේ බිග් මැච් නිසා ක්‍රීඩකයන්ට කතා කරන්න කියලා විදුහල්පති මට කිව්වා. පොඩි හදිස්සියක් කියලා කෙටි වෙලාවකට එහි ගිහින් ඉක්මනට ආවා. රියන්සි සර්ව හමුවෙන්න කපිලව ගෙදර තියලා අපි ගියා. රියන්සි සර් කිව්වා කපිල ප්‍රොඩියුස් කරන්න ඕන කියලා. කපිලව රියන්සි සර්ට මම ෆෝන් එකෙන් සම්බන්ධ කළා. ඒ වෙලාවේ කපිලට ඇරෙස් වොරන්ට් ඉෂූවෙලා තිබුණේ. ගෙදරින් යන්නද ඇහුවම මෙහෙ ඉන්න කියලා උපදෙස් ලැබුණා. ලෝයර් උදේම එවන්නම් කියලා කිව්වා. කපිලට ඇඳගන්න 7.15ට එන්න කියලා කිව්වේ. ලෝයර් ඇවිත් ෆෝන් එකට ගන්නකොට කපිල ඉස්සුවේ නැහැ. දොරට ගැහුවා ඇරියෙත් නැහැ. අනෙක් බාත්රූම් එකෙන් ගිහින් තට්ටු කළත් ඇරියේ නැහැ. මම හිතුවේ එයා වොෂ් දානවා කියලා. මමත් ඔෆිස් යන්න ලැහැස්ති වුණා. රෙස්ෆොන්ඩ් එකක් නැති නිසා මාස්ටර් කී එකෙන් දොර ඇරලා තිබුණා. මම බලන්න යන්න බය නිසා පහළට ගියා. අන්කොන්සස් වගේ කියලා කිව්වේ. ඒ අතර ඇම්බියුලන්ස් එක ආවා. නීතිඥ මහතා සහ වයිෆ් කියපු විදිහට මැරිලා කියලා හිතුණා. පොලීසියට කතා කළා. ඇම්බියුලන්ස් එකට කතා කළා. ඩර්ඩන්ස් එකට කතා කළා. කොල්ලුපිටියේ ඕඅයිසී මහත්තයාගේ නම්බර් එක තිබුණා, එයාටත් කතා කළා. ඩොක්ටර් අර්ජුනගේ නම්බර් එක තිබුණා. එයාටත් කතාකළා. මට සැකයක් නැහැ, ඔහු කාමරයේ නිදාගෙන සිටියේ.
වැඩිදුර සාක්ෂි විභාග 14 පෙරවරු 9.00ට කැඳවේ.
-සුභාෂිණී සේනානායක සහ පරින්ද්‍යා ගුණදාස
……………………………………………………………………………………………..
කපිල චන්ද්‍රසේනගේ මරණ පරීක්ෂණය
ව්‍යාජ ඇපකරුවන් හඳුන්වාදුන්නේ යැයි අරවින්දගේ මෙහෙකරු හා තවත් අයෙක් අද දක්වා රිමාන්ඩ්
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන නමැති සැකකරුට ව්‍යාජ ඇපකරුවන් හඳුන්වාදුන්නේ යැයි කියන අරවින්ද ද සිල්වා මහතාගේ නිෙවසේ මෙහෙකරු හා තවත් පුද්ගලයෙකු අද (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (12) නියෝග කළේය.
කෙසෙල්වත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිස්ස හා ගනේෂ් නැමැති පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
ස්වාමීනී, මෙම ව්‍යාජ ඇපකාර සිද්ධියට බන්ධනාගාර නිලධාරියෙකුද සම්බන්ධ වී තිබෙනවා. එම නිලධාරියා මෙම සිද්ධියේ සාක්ෂිකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.
අරවින්ද ද සිල්වා මහතාගේ නිෙවසේ මෙහෙකරු යැයි කියන පුද්ගලයා ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කළ අතර අද දින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තිස්ස නැමැති සැකකාර පුද්ගලයා වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු අධිකරණයේ පෙනී නොසිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව සැකකරු අධිකරණයට පැවසීය.
ඒ අනුව ඊයේ පස්වරුවේ සැකකරුගේ පාපොච්චාරණය සටහන් කර ගැනීම මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සිදුකෙරිණි.
කපිල චන්ද්‍රසේන සැකකරුට පසුගිය 05 වන දින අප තැබීමේදී අධිකරණය මඟින් නියම කරන ලද රුපියල් ලක්ෂ සියයේ ශරීර ඇප දෙකක් සඳහා මෙම ව්‍යාජ ඇපකරුවන් හඳුන්වා දී ඇති බවත් රුපියල් 15000 බැගින් මුදල් ලබා දී මෙම ඇපකරුවන් හඳුන්වා දී ඇති බවත් පොලීසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය.