යුරෝපයේ සහ මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් සමස්ත ලෝකයේ රටවලට සෘජු හෝ වක්‍ර බලපෑම් ඇති කර තිබෙනවා. මෙවන් අස්ථාවරත්වයන් හමුවේ සියලු රටවලට සිය දේශීය ආර්ථික වර්ධනය සුමටව පවත්වා ගෙන යාම කිසිසේත් පහසු නොවේ. පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සිය නවතම වාර්තාව නිකුත් කරමින් ලෝක ආර්ථික වර්ධනය සඳහා වූ පුරෝකථනය සියයට 0.2කින් පහත දැමීමට ද පියවර ගත්තේ මෙම අවිනිශ්චිතභාවය සනාථ කරමින්. මෙවන් අභියෝගාත්මක පසුබිමක ලොව දෙවන ආර්ථිකය හිමි චීනයේ කතාව වෙනස් මගක් ගැනීම සුවිශේෂයි. චීනය මෙම වසරේ පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය පසුගිය වසරට සාපේක්ෂව 5%කින් වර්ධනය කර ගෙන ඇති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පසුගියදා සඳහන් කළා. ඒ චීනය සතු ආර්ථික විභවය හා නම්‍යශීලිත්වයක් යළි පෙන්නුම් කරමින්.
පළමු කාර්තුවේදී චීනයේ කෘෂිකාර්මික එකතු කළ අගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 3.7කින් ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම චීනයේ කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය පසුගිය වසරට සාපේක්ෂව සියයට 6.1කින් ද සේවා කර්මාන්තයේ එකතු කළ අගය සියයට 5.2කින් ද ඉහළ යාම කැපී පෙනෙනවා. පළමු කාර්තුවේදී චීනයේ භාණ්ඩ ආනයන හා අපනයනවල සමස්ත වටිනාකම වාර්ෂිකව සියයට 15කින් වැඩි වී ඇති අතර “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙල ඒකාබද්ධව ගොඩනැගීම හා සම්බන්ධ රටවල් සමග ආනයනය හා අපනයනය සියයට 14.2කින් වර්ධනය වී ඇති බවයි සඳහන් වන්නේ.
මේ අනුව පළමු කාර්තුවේදී චීනයේ ප්‍රධාන සාර්ව ආර්ථික දර්ශක යථා තත්ත්වයට පත් වීමක් පෙන්නුම් කරමින් චීන ජාතික ආර්ථිකයට යහපත් ආරම්භයක් ලබාදී ඇති බව පැහැදිලියි. චීනය ගෝලීය ආර්ථිකයේ තීරක බලවේගයක් බැවින් එකී ජයග්‍රාහී ආරම්භය ගෝලීය වෙළඳපොළට දැඩි විශ්වාසයක් සහ සැලකිය යුතු ස්ථාවරත්වයක් ලබා දෙනවා.

මෙම වර්ධන ප්‍රවණතාව පිළිබඳ විශ්‍ලේෂක මත විමසා බැලූවිට පෙනී යන්නේ භූ දේශපාලන අවදානම් ඉහළ යාම හා ගෝලීය බලශක්ති වෙළඳපොල අස්ථාවර වීම හමුවේ වුවද චීනය සිය සංවර්ධනයට වැඩි අවධානයක් යොමු කර තිබීම මෙම ජයග්‍රාහී ආරම්භයට ප්‍රධානම හේතු සාධකය බවයි. චීනය නව ගුණාත්මකභාවයෙන් යුත් ඵලදායීතාව වඩාත් වේගවත්ව වර්ධනය කිරීම සහ ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය නොවෙනස්ව ක්‍රියාත්මක කිරීම මෙන්ම සිය ආර්ථිකය පරිවර්තනය වෙනුවෙන් ශක්තිමත් ගම්‍යතාවයක් ලබා දීම මෙහිලා විශේෂ වනවා.
ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය සතුව සමස්ත ආර්ථික ධාරිතාව චීන යුවාන් ට්‍රිලියන 140ක්. එනම් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 19.44 ඉක්මවූ අගයක්. මෙවැනි ඉහළ අගයක් මත දළ දේශීය නිෂ්පාදිතය 5%ක වර්ධනයක පවත්වා ගැනීම පහසු කාර්යයක් නොවුන ද චීනය සිය ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීමෙන් දේශීය ආර්ථිකය බාහිර බලපෑම් හමුවේ සාර්ථකව හසුරවා ඇති බව මනාව පෙන්නුම් කරනවා.
ගෙවී ගිය පළමු කාර්තුවේදී චීනය ලද ආර්ථික ජයග්‍රහණය චීනයේ 15වැනි පස්අවුරුදු සැලසුමේ යහපත් ආරම්භයේ පෙර නිමිත්තක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් Kristalina Georgieva මහත්මිය ද සඳහන් කළා. එසේ ම එය චීනයට ලෝකය සමග සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට හැකි පැහැදිලි සංඥාවක් බව ඇය පැවසුවා.

ඉහළ යමින් පවතින භූ දේශපාලනික අවදානම් සහ අවිනිශ්චිතතාවය හමුවේ චීන ආර්ථිකයට මෙවැනි ප්‍රශස්ත ප්‍රවේශයක් ලබා ගැනීමට හැකිවූයේ කෙසේ ද? පළමු සාධකය වන්නේ ස්ථාවරත්වයි. මුල් මාස දෙක තුළ චීනයේ මහා පරිමාණ කර්මාන්තවල වර්ධන අගය සියයට 6.3කින් වැඩි වුණා. මෙවර පෙරටත් වඩාත් දීර්ඝ වූ චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් පළමු මාස දෙක තුළ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර අලෙවියේ සියයට 2.8ක වැඩිවීමක් සහ සේවා පරිභෝජනයේ සියයට 5.6ක වැඩිවීමක් පෙන්නුම් කළා.

මෙම වසරේ මුල් මාස දෙක තුළ, චීනයේ අධි තාක්‍ෂණික නිෂ්පාදන අංශයේ එකතු කළ අගය සියයට 13.1 කින් වැඩි කර ගනිමින් කාර්මික රොබෝවරුන්ගේ නිෂ්පාදනය සියයට 31.1කින් වර්ධනය කර ගැනීමට චීනය සමත් වුණා. ඒ වර්තමානයේ රටක ආර්ථිකය ඇගයීමේදී සංවර්ධනයට බලපාන නව ධාවකයන් වැඩි වැදගත්කමක් හිමි කර ගන්නා බව පෙන්වා දෙමින්. පළමු කාර්තුවේ චීනයේ මෙම ජයග්‍රාහී ආරම්භය එරට 15 වන පස් අවුරුදු සැලැස්මේ සාර්ථකත්වයට මෙන්ම මෙම වසරේ ලෝක ආර්ථික වර්ධනයට ද සාධනීය දායකත්වයක් ලබා දෙනු ඇති.
දිනූෂි ධීරසිංහ

චීන මාධ්‍ය සමූහය
චීනයේ බෙයිජිං නුවර සිට