සුළි කුණාටුවෙන් විනාශයට හා හානියට පත් වූ ප්‍රධාන මහාමාර්ග 256න් 95%ක් මේ වන විට වාහන ගමනාගමනයට සුදුසු තත්ත්වයට පත් කර ඇති අතර, දකුණ, වයඹ හා බස්නාහිර පළාත් යා කරන කාර්යාල දුම්රිය සේවාද මේ වන විට යථාවත් කර තිබේ. ඒ අනුව දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව මේ වන විට 160 ඉක්මවා ඇති අතර, පසුගිය මාසයේ අවසානයේ එම සංඛ්‍යාව දැක්වුණේ දෛනික දුම්රිය ගමන් වාර 66ක් ලෙසිනි.
මේ වන විට මෙරට සියලු නගර හා උප නගර කරා යෑමට හැකි වන පරිදි මහාමාර්ග සකස් කර ඇති අතර, දරුණු ලෙස හානියට පත්ව ඇති මාර්ග කිහිපයක් වෙනුවෙන් විකල්ප මාර්ග හඳුන්වා දී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු විමල් කණ්ඩම්බි ‘සිළුමිණට’ කීවේය. මාර්ග හා පාලම් විනාශයෙන් රු. බිලියන 190කට වැඩි අලාභයක් සිදුව ඇති බවත්, මේ මාර්ග සහ පාලම් නඩත්තුවට අදාළව මහාමාර්ග අමාත්‍යාංශයට ඒ සඳහා ප්‍රතිපාදන ගැටලුවක් නැති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඉන්දීය බේලි පාලම් මේ වන විට ස්ථාපිත කර ඇත්තේ 2ක් පමණක් බව පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා, බොහෝ මාර්ගවල පාලම් මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුද හමුදාව එක්ව කඩිනමින් වාහන ගමනාගමනයට යථාවත් කළ බව පෙන්වා දුන්නේය.