පසමිතුරු මහා සංග්‍රාමය ජනපති අනුරගේ මැදිහත්වීමෙන් සැලසුම් කළ පරිදිම කොළඹදී

X post from the President of Srilanka

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙහෙයවනු ලබන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වඩාත් බලාපොරොත්තු සහගත ඉන්දියා – පකිස්ථාන තරගය සැලසුම් කළ පරිදිම එළඹෙන පෙබරවාරි 15 වන දින කොළඹදී පැවැත්වීමට තීරණය වී ඇත. පකිස්ථාන රජය සිය ජාතික කණ්ඩායමට ඒ සඳහා අවසර ලබා දීමත් සමඟ සතියක් පුරා පැවති අවිනිශ්චිතතාව නිමාවට පත්විය.

මෙම තීරණයට මග පෑදුණේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා අතර ඊයේ (09) පස්වරුවේ පැවති විශේෂ දුරකථන සංවාදයකින් අනතුරුවය.

රාජ්‍ය නායකයන් අතර සාකච්ඡාව

දුරකථන ඇමතුම අතරතුර ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැවති අසීරු කාලසීමාවන්හිදී පවා පකිස්ථාන කණ්ඩායම මෙරට සංචාරය කරමින් ලබාදුන් සහයෝගය අතිමහත් බවයි. විශේෂයෙන්ම 1996 ලෝක කුසලාන සමයේ ආරක්ෂක හේතූන් මත අනෙකුත් රටවල් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී ඉන්දියාව සහ පකිස්ථානය කොළඹදී තරග වැදී පෙන්වූ සහයෝගීතාව ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

එමෙන්ම, මෙම තරගය අවලංගු වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන දැවැන්ත මූල්‍යමය පාඩුව පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කරමින්, පවතින ගැටලු මිත්‍රශීලීව විසඳා ගන්නා ලෙස ඉල්ලා තිබේ.

පකිස්ථාන රජයේ ප්‍රතිචාරය

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මෙන්ම ICCය, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මිත්‍ර රටවල ඉල්ලීම් සලකා බලමින් පකිස්ථාන රජය මෙම තීරණය ගෙන ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීම සහ කලාපීය ක්‍රීඩා සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් පකිස්ථාන අගමැතිවරයා සිය ජාතික කණ්ඩායමට තරගය සඳහා අවසර ලබා දී තිබේ.

ජනපති අනුරගෙන් X (ට්විටර්) පණිවුඩයක්

මෙම සුබදායී තීරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාට සිය කෘතඥතාව පළ කළේය.

“අපි හැමෝම ආදරය කරන ක්‍රීඩාව අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීම ගැන පකිස්ථාන අගමැතිවරයාට ස්තූතිවන්ත වෙනවා. 1996 දී මෙන්ම අදත් පකිස්ථානය සහ ඉන්දියාව පෙන්වන සහයෝගීතාවය ශ්‍රී ලංකාවට අමතක නොවන බව” ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත.

මේ අනුව, 2026 විස්සයි විස්ස ලෝක කුසලානයේ දැවැන්තම තරගය වන ඉන්දු-පකිස්ථාන ගැටුම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය සූදානම් වෙමින් පවතියි.