බංගලාදේශය පරණ නායකයෙකුගේ ‘අලුත් අතකට‘

tarique rahman

බ්‍රහස්පතින්දා පැවති සන්ධිස්ථානීය මැතිවරණයෙන් බහුතරයක් දිනා ඇති බවත් ඊළඟ රජය පිහිටුවන බවත් තාරික් රහ්මාන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) පවසයි.

බංග්ලාදේශයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයකට තරීක් රහ්මාන් නායකත්වය දෙන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සමග ම ඔහු පළමු වරට ජාතික පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වීය.මැතිවරණයට මාසයකට පෙර සිදුවූ තම මවගේ අභාවයෙන් පසු ඔහු පක්ෂයේ සභාපති ධූරයට පත්වූ අතර බංග්ලාදේශයේ “මීළඟ අගමැති” ලෙස ඔහුගේ ආධාරකරුවෝ පැවසූහ.

2007 වසරේදී බංග්ලාදේශයේ හමුදා සහය ලත් භාරකාර රජය සමයේදී දූෂණ චෝදනා මත තරීක් රහ්මාන් අත්අඩංගුවට ගන්නා ලදී. මාස දහඅටක් සිරගතව සිටීමෙන් පසු, ඔහු 2008 සැප්තැම්බර් මාසයේදී නිදහස ලැබූ අතර සිය පවුලේ අය සමග ලන්ඩනයට සංක්‍රමණය විය.

ලන්ඩනයේ වසර දාහතකට ආසන්න කාලයක් දේශපාලන රැකවරණ ලැබීමෙන් පසු, ඔහු පසුගිය දෙසැම්බර් මාසයේදී ඩකා නුවරට පැමිණියේ ඔහුගේ පක්ෂයෙන් අතිවිශිෂ්ට පිළිගැනීමක් ද ලබමිනි.
තවමත් පරාජය පිළිගෙන නොමැති ජමාත්-ඊ-ඉස්ලාමි පක්ෂය, ඡන්ද ගණන් කිරීම පිළිබඳව “තෘප්තිමත්” නොවන බවත් “ප්‍රතිඵල ක්‍රියාවලියේ අඛණ්ඩතාව පිළිබඳව බරපතල ප්‍රශ්න” මතු කරන බවත් පවසයි.

2024 වසරේ ඒකාධිපති නායිකා ෂෙයික් හසීනාගේ වසර 15ක පාලනය අවසන් කළ ශිෂ්‍ය විරෝධතාවලින් පසුව බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු මැතිවරණය බ්‍රහස්පතින්දා (පෙබරවාරි 12) ආරම්භ විය.

ශිෂ්‍ය නැගිටීම් අතරතුර විරෝධතාකරුවන් 1,400ක් පමණ මිය ගිය අතර ඔවුන් මර්දනය කිරීම සඳහා ඍජුව ම නියෝග කළ බවට හසීනාට චෝදනා එල්ල වුව ද, ඇය එම චෝදනාව ප්‍රතික්ෂේප කළා ය.

හසීනා පලා ගිය දා සිට බංග්ලාදේශය පාලනය කරනු ලැබුවේ, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් විසිනි.

බංග්ලාදේශයේ 13 වන ජාතික පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයින් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මෙම මැතිවරණයේ සන්දර්භය වෙනස් ය.

බංග්ලාදේශයේ පළමු හමුදා පාලකයා සහ දිවංගත ජනාධිපති සියාඋර් රහ්මාන් සහ හිටපු අගමැතිනි ඛලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන තරීක් රහ්මාන් 1965 නොවැම්බර් 20 වන දින උපත ලැබීය.