මාලදිවයිනේ සහ වියට්නාම ජනාධිපතිවරු දෙදින නිල සංචාර සඳහා එළඹෙන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා එළඹෙන මැයි මස 04 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර ඒ මහතා සමඟ මාලදිවයින් රජයේ ඇමැතිවරුන් සිවුදෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා – මාලදිවයින් සහයෝඟිතාව තවදුරටත් පුළුල් කරගනිමින් මේ සංචාරය සිදුවන අතර එහිදී මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට රැඳී සිටින කාලයේදී ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද එම සාකච්ඡාවල දී දෙරට අතර ධීවර, වෙෙළඳ, සංචාරක, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
ඊට අමතරව වියට්නාම ජනාධිපති ටෝ ලැම් මහතා එළඹෙන මැයි මස 07දා මෙරටට පැමිණීමට නියමිතව තිබෙන අතර එහිදී ඒ මහතා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවද වෙළෙඳ, සංචාරක සහ ද්වීපාර්ශ්වික සහයෝගිතාව සම්බන්ධයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බවද විදේශ අමාත්‍යාංශය කියයි.
මෙරටට පැමිණෙන වියට්නාම ජනාධිපතිවරයා සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකා – වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 55ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතව තිබෙන අතර දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරේ.