චෙම්මනි සමූහ මිනී වළේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් ලබා දී නැත.
ලබන 27 වැනිදා තුන්වැනි අදියරේ කැණීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණද, මෙසේ මුදල් අනුමත නොකිරීම හේතුවෙන් ඒ කටයුතු අදාළ දිනයේදී සිදු කිරීම ගැටලුවක් වී තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයාට සිහිකැඳවීමක් කරන ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.
මේ සිහිකැඳවීමට අදාළ ප්‍රතිචාර පිළිබඳව නැවත විමසා බැලීමට ලබන 21 වැනිදා නඩුව යළි කැඳවීමටද අධිකරණය නියෝග කළ අතර, මහේස්ත්‍රාත්වරයා කැණීම්වලට පෙර නිරීක්ෂණ චාරිකාව සිදු කිරීමට නියමිතව ඇත්තේ ඉන් පසුවය. පසුගිය සැප්තැම්බරයේදී චෙම්මනි සමූහ මිනීවළට අදාළ දෙවැනි අදියරේ කැණීම් අවසන් කෙරිණි.
යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා සංවර්ධන කටයුතුවල නිරත වූ පිරිසක් දැක තිබිණි.
අදාළ අස්ථි කොටස් දැකීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් කටයුතු කර තිබිණ.
පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර ගැනීමට නොහැකි වූ අතර, වර්ෂා සමය නිමා වීමෙන් අනතුරුව යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු කිරීමට නියෝග ලබා තිබේ.
කැණීම් ස්ථානය සම්බන්ධයෙන් යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ විසින් අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවට නියෝග ලබා දුන් බව පොලිසිය සඳහන් කළේ ය.