ට්‍රම්ප් පරිපාලනයේ නාවික හමුදා ලේකම් ජෝන් ෆෙලන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව පෙන්ටගනය නිවේදනය කර ඇත.
පෙන්ටගන මාධ්‍ය ප්‍රකාශක ෂෝන් පාර්නෙල් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙම ඉල්ලා අස්වීම “වහාම ක්‍රියාත්මක වන පරිදි” සිදුවන බවය.
ෆෙලන්ගේ ඉවත්වීමත් සමඟ නාවික හමුදා උප ලේකම් හන්ග් කාඕ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති බව සඳහන් වේ.
පසුගිය මාස කිහිපය තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ ඉහළ පෙළේ හමුදා නායකයින් අතරට ෆෙලන් ද එක් වේ.
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසා තිබේ.
අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් ලෙස ද ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා සඳහන් කර ඇත.
කෙසේවෙතත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සඳහන් කර ඇත්තේ, ඉරානය සාම සාකච්ඡා සඳහා විවෘතව පැවතින බවත්, ඒ සඳහා කැපවීම් කඩකිරීම, අවහිර කිරීම් සහ තර්ජනය කිරීම් සැබෑ සාකච්ඡාවක් සඳහා ප්‍රධාන බාධක වනු ඇති බවය.
මෙවන් පසුබිමක ඉරානය සමඟ නව වටයක සාම සාකච්ඡා ඉදිරි පැය 36 සිට 72 දක්වා කාලය ඇතුළත ආරම්භ වීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.