රහස් ගබඩාවක් සොයන්න ඔස්මන්ට මාංචු

osman gunasekera detention 838986

ගම්පහ ප්‍රකට ව්‍යාපාරික‍යෙක් වූ විජේරත්න ආරච්චිගේ ජෝර්ජ් ඔස්මන් පෙරේරා හෙවත් ගම්පහ ඔස්මන් නමැත්තා හා තවත් පුද්ගලයකු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් පෙ‍ෙර්දා (13) අත්අඩංගුවට ගෙන ඇත. අසර්බයිජාන්වල සිට අල්ලා‍ගෙන මෙරටට රැගෙන ආ බටුවත්තේ චාමරගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවන තොරතුරු මත කොළඹ අලුත්කඩේ ම‍හේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූ ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධ‍යෙන් සැකපිට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව ගණේමුල්ල සංජීව ඝාතනයට සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අපරාධයක් සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනිඅවි ලබාදී මනුෂ්‍ය ඝාතනයකට ආධාර හා අනුබල දීම සම්බන්ධයෙන් ඔස්මන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීති‍වේදී උදය කුමාර වුඩ්ලර් මහතා පැවැසීය.

බලපත්‍ර නොමැති තුර්කියේ නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනිඅවියක්, එම අවියට යොදන ජීව ප‍තරොම් 10ක්, පතරොම් ගැබ් 02ක්ද ඔහු සන්තකයේ තබාගෙන සිටිය දී සොයාගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.සමාජයේ වඩාත් කතාබහට ලක්වූ ෆාදර් නමැති චිත්‍රපටය පවා නිර්මාණය කර තිබු‍ණේ ඔස්මන්ගේ ජීවිත කථාව තේමා කරගෙනය.

අත්අඩංගුවට ගත් ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ වගන්තිය ප්‍රකාරව පැය 72ක රැඳවුම් නියෝගයක් ලබාගෙන එම ඝාතනය ඇතුළු තවත් සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගණේමුල්ලේ සංජීව ඝාතනය වූ අවස්ථාවේදී පවා විමර්ශකයන්ට මෙම ඝාතනය ඔස්මන්ගේ වැඩක්දැයි සැකයක් ඇතිවූ බවත් ඊට සාක්ෂි නොතිබුණු බැවින් ඔහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට නොහැකි වූ බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

ගණේමුල්ලේ සංජීව අවස්ථා ගණනාවකදීම ඔස්මන් ඝාතනය කිරීමට උත්සහ දරා තිබුණි. ගණේමුල්ලේ සංජීව විසින් ඒ සඳහා යොදවනු ලැබූ කුලී ඝාතකයන් පවා ගිනිඅවි සමඟ පොලීසියට වරින් වර හසුවී තිබුණි. ඒ අතරින් කිහිප දෙනෙක් පොලිස් වෙඩි ප්‍රහාරවලින් මියගොස් ද ඇත.

ගණේමුල්ලේ සංජීව ඝාතනයත් සමඟ එම ඝාතනයේ වගකීම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් භාරගනු ලැබීය. ඔස්මන් ඝාතනය කිරීමට පවා කෙහෙල්බද්දර පද්මේ සැලසුම් කරන බව ද කියැවිණි. මෙම වසරේ ගම්පහ පැවැති අලුත් අවුරුදු උත්සවයකට පැමි‍ණෙන අවස්ථාවේදී ඔස්මන් ඝාතනය කිරීමට කුලී ඝාතකයන් පිරිසක් පවා කෙ‍ෙහල්බද්දර පද්මේ විසින් යොදවා ඇතැයි අනාවරණය විය. ගිනිඅවි සමඟ ඒ සඳහා සූදානමින් සිටි පිරිසක්ද තොරතුරකට අනුව පොලීසිය අත්අඩංගුවට ගත්තේය. ඒ සියල්ල චිත්‍රපටයක් මෙන් සැලසුමක් බවට සැකකරන තොරතුරු මේ වන විට අනාවරණය වී ඇති බවත් කෙ‍ෙහල්බද්දර පද්මේ සහ ඔස්මන් අතර ගැටුමක් නැති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණය වෙමින් ඇති බවත් ඒ සියල්ල ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දක්වන බවත් එම උසස් නිලධාරියා පැවැසීය.

ගම්පහ ශ්‍රී බෝධිය පාරේ ගම්පහ පොලීසියට යාබද පිහිටි නි‍ෙවසේදී ඔස්මන් අත්අඩංගුවට ගෙන ඇත. ඔස්මන් වයස අවුරුදු 69ක් වන අයෙකි.

බටුවත්තේ චාමරගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය දළුගම මුදියන්සේ වත්ත ප්‍රදේශයේ පදිංචි කම්කනම්ලාගේ සරච්චන්ද්‍රසිරි හෙවත් රාජා යන සැකකරුය. කොහොල්විල පාරේ මුදියන්සේ වත්තට හැරෙන හන්දියේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

බටුවත්තේ චාමර යන සැකකරුගෙන් සහ සරත්චන්ද්‍රසිරි හෙවත් රාජා යන සැකකරුවන්ගෙන් අනාවරණය කරන ලද තොරතුරු ඔස්සේ ඔස්මන් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි, පොලිස් අධිකාරි (මෙහෙයුම්) ඉසුරු නිශාන්ත මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ක්‍රිෂාන්ත, සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

දිනමිණ ඇසුරෙනි