විෂය භාර ඇමැතිවරයා සහ ලේකම්වරයා ඉල්ලා අස්වීමේ නාට්‍යයෙන් ගල්අඟුරු වංචාව යටපත් කළ නොහැකි බව සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙරට විදුලි බල උත්පාදනයට භාවිත කරන ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වන ගල්අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලියේ සිදුව ඇති දූෂණ ක්‍රියාවලිය වසා ගැනීමට වත්මන් රජය දරන සියලු උත්සාහය පරාජය කළ යුතු බවද එම නිවේදනයේ දැක්වේ. නිවේදනය මඟින් එම පක්ෂය ඉල්ලා ඇත්තේ මේ උත්සාහය පරාජය කිරීමට සියලු දෙනා එක්වන ලෙසයි.
ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු ටෙන්ඩර් හරහා මෙරටට ගෙන්වීම මඟින් සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ ද, රජය ඒ පිළිබඳව මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බව පක්ෂය පෙන්වා දෙයි.
ජාතික ජන බලවේග රජය මේ කරුණු අවඥාවෙන් බැහැර කරමින්, තම වංචාව වසන් කිරීමට උත්සාහ කරන බවට ද චෝදනා එල්ල වේ. ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු දහනය නිසා රටට විශාල මූල්‍ය පාඩුවක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාව මඟින් ද තහවුරු කර තිබේ.
එසේම, ගල්අඟුරු හදිසි මිලදී ගැනීම්වලට අදාළව නිකුත් වූ ආන්දෝලනාත්මක හඬපටය සත්‍යයක් බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පිළිගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගෙන ඇත.