හෝමූස් සමුද්‍ර සන්ධිය සියලු නෞකාවලට විවෘත කිරීමෙන් පැය 24කට පසු යළි වසා දැමීමට ඉරාන ආරක්ෂක හමුදාව පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු හමුදාව ඉරාන නෞකා අවහිර කිරිම අත්හිටුවීමේ කොන්දේසිය මත පසුගිය සිකුරාදා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ ඉරාන ආරක්ෂක හමුදාව නැවත එය වසා දැමීමට කටයුතු කර ඇත්තේ දෙරට අතර අර්බුදය සමථයකට පත්වනතුරු ඉරාන නෞකා අවහිර කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරිමෙන් පසුව බව ද වාර්තා වේ.
ට්‍රම්ප්ගේ නියෝගයට අනුව අමෙරිකානු නාවික හමුදාව අරාබි මුහුදේ රඳවා ඇති යුද නෞකා භාවිත කරමින් පසුගිය සඳුදා සිට කිසිදු නෞකාවකට ඉරානයෙන් පිටවීමට සහ ඇතුළුවීමට නොහැකි ලෙස අවහිර කළ අතර, පෙරේදා වන විට ඉරානයට සම්බන්ධ නෞකා 23ක් ආපසු හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ නැවත දැනුම් දෙනතුරු හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ කිසිදු නෞකාවකට යාත්‍රා කිරීමට අවසර නැති බවය. එමෙන්ම එවැනි උත්සාහයක නිරතවන ඕනෑම නෞකාවක් සිය සතුරන් ලෙස සලකා වෙඩි තබන බවට ද ඉරාන ආරක්ෂක හමුදාව අනතුරු අඟවා තිබේ.