වර්ෂ 2026 අප්‍රේල් මස මුල් සතිය මානව ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු සතියක් ලෙස අනාගත පරපුර විසින් හඳුන්වනු ලැබීම දැන් කිසිසේත්ම නතර කළ නොහැකි වනු ඇත. 1972 වසරේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු, දශක පහකට වැඩි කාලයක් මිනිසකු සඳ අසලටවත් ගොස් නොතිබූ නිහඬ යුගය නිමා කරමින් නාසා ආයතනයේ ආටෙමිස් II මෙහෙයුම සිය ජයග්‍රාහී ගමන සාඩම්බර ලෙස නිමා කරමින් පසුගිය දිනෙක පැසිෆික් සාගරයට ගොඩබසිනු ලැබීය. මෙය හුදෙක් තාක්ෂණික මෙහෙයුමක් නොව, පෘථිවිවාසී සියලු දෙනාගේ බලාපොරොත්තු අභ්‍යවකාශයේ ඈත කෙළවර දක්වා රැගෙන ගිය මානුෂීය චාරිකාවකි.
අප්‍රේල් පළමු වැනිදා පෘථිවියෙන් නික්මුණු රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කෝච් සහ ජෙරමි හැන්සන් යන ගගනගාමීන් සිව්දෙනා, පසුගිය අප්‍රේල් 6 වැනිදා මානව වර්ගයා තබා තිබූ දැවැන්තම සීමාවක් පසු කළහ.
ඒ, 1970 දී ඇපලෝ 13 මෙහෙයුම විසින් තබා තිබූ මිනිසෙකු පෘථිවියේ සිට ගිය වැඩිම දුර (සැතපුම් 248,655) වාර්තාව බිඳ හෙලමිනි. ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,757ක් ඈතට ගමන් කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවන විට, මුළු පෘථිවියම ඒ දෙස බලා සිටියේ වේගවත් හද ගැස්මකිනි.

එම වාර්තාව තැබූ මොහොතේදී පාලන මැදිරියේ සිට ගගනගාමීන් වෙත මානව ඉතිහාසයේ දුරම සිට යැවූ දිගම ඊමේල් පණිවිඩය යැවීමටද නාසා ආයතනය කටයුතු කළේය.
එයින් සංකේතවත් කළේ තාක්ෂණය කොතරම් දුර ගියද පෘථිවිය සහ එහි දරුවන් අතර ඇති සබඳතාව කිසිදා බිඳ නොවැටෙන බවය.
එමෙන්ම මෙහෙයුමේ වඩාත්ම අවදානම්සහගත මෙන්ම උද්වේගකර අවස්ථාව වූයේ ඔරායන් යානය සඳෙහි අපට නොපෙනෙන පැත්ත හෙවත් ‘අඳුරු පැත්ත’ හරහා ගමන් කළ මොහොතයි. සඳෙහි ඇති දැවැන්ත ස්කන්ධය නිසා පෘථිවිය සමඟ තිබූ සියලුම රේඩියෝ සන්නිවේදනයන් විනාඩි හතළිහක කාලයකට අත්හිටුවීමට සිදු වූ අතර, එම නිහඬතාව තුළ ගගනගාමීන් තනිව සිටියද, ඔවුන් දුටු දසුන් අතිශය විශ්මයජනකය බව කිව හැකි ය.
ගගනගාමීහු මෙම කාලය තුළ සඳ මතුපිට සිට කිලෝමීටර් 6,545ක් තරම් ආසන්නයටම ගමන් කිරීමට සමත් වූහ. එහිදී ඔවුන් හට කිසිදු මිනිසකු පියවි ඇසින් මෙතෙක් දැක නොතිබූ සඳෙහි අඳුරු පැත්තේ දසුන් ඡායාරූපගත කර ගැනීමට හැකි වූ අතර, පෘථිවියේ සිටින අපට හිරු බැස යනවා දැකීම අතිශයින් සාමාන්‍ය දසුනක් වුවද, සඳ පිටුපස සිට අපේ නිල් පැහැති ලෝකය සඳෙහි ක්ෂිතිජයෙන් බැස යන අපූර්ව පෘථිවි බැස යාම නිරීක්ෂණය කිරීමට ඔවුහු වාසනාවන්ත වීම කොතරම් අපූර්ව අත්දැකීමක්දැයි සිතා ගැනීමට ද නොහැකිය.
මෙම මෙහෙයුමේ වැදගත්ම විශේෂත්වය වන්නේ එහි ඇති අතිශය මානුෂීය මුහුණුවරයි. ගගනගාමීන් සඳෙහි දුටු අලුත් ආවාට දෙකකට නිල නොවන ලෙස නම් තැබීමට කටයුතු කළ අතර, වැදගත් වන්නේ ඔවුන් ඒවාට තැබූ නාමයන්හි අරුතයි.
ඉන් එකක් තම යානය සිහිවීම සඳහා ඔවුන් විසින් ‘Integrity’ ලෙසත්, අනෙක අණදෙන නිලධාරී රීඩ් වයිස්මන්ගේ පිළිකාවක් හේතුවෙන් 2020දී මියගිය ආදරණීය බිරිඳ සිහිවීම පිණිස ‘Carroll’ ලෙසත් නම් කරන ලදී. කොතරම් ඈත අභ්‍යවකාශයක සිටියත් මානව සබඳතාවල වටිනාකම ඔවුන් එසේ ලොවටම පෙන්වා දුන්නේ ඒ මොහොතේ සජීවී ලෙස ඔවුන් දෙස බලා සිටි සියලු දෙනා සංවේදී කරමිනි.
විශේෂයෙන්ම, ක්‍රිස්ටිනා කෝච් මෙම මෙහෙයුමට එක්වීම සහ ඇගේ හැකියාවන් පිළිබඳ විවිධාකාරයේ මතිමතාන්තර පැතිර ගියද ඇය සැබවින්ම ලෝක වාර්තා රැසක් හිමි වෘත්තීයවේදිනියකි. අභ්‍යවකාශයේ වැඩිම කාලයක් ගත කළ කාන්තාව ලෙස මෙවර ඇය සතු අත්දැකීම්, අනාගතයේදී සඳ මතට කාන්තාවක් ගොඩබැස්වීමේ ‘ආටෙමිස් III’ මෙහෙයුමට තවදුරටත් ශක්තිමත් පදනමක් සපයනු ඇත.
ආටෙමිස් II මෙහෙයුමේ අතිශය දුර්ලභ සිදුවීමක් වූයේ ගගනගාමීන් හට අභ්‍යවකාශයේදී පූර්ණ සූර්යග්‍රහණයක් අත්විඳීමට ලැබීමයි. පෘථිවියේ සිට අප දකින සූර්යග්‍රහණයකට වඩා මෙය හාත්පසින්ම වෙනස් වූ අතර, එහිදී ඔවුහු සූර්යයා සම්පූර්ණයෙන්ම වැසී ගිය පසු, සූර්යයාගේ පිටත වායුගෝලය හෙවත් ‘කොරෝනාව’ අද්භූත රිදී පැහැති කෙඳි සමූහයක් ලෙස විහිදී යන අයුරු දුටුවෝය. වික්ටර් ග්ලෝවර් මෙය ඉතා සංවේදී ලෙස හැඳින්වූයේ බේබි හෙයාර් ලෙසිනි.
සඳ යනු අළු සහ සුදු පැහැති නිසල වස්තුවක් ලෙස අප සිතුවද, ක්‍රිස්ටිනා කෝච් සහ ජෙරමි හැන්සන් සඳෙහි ඇතැම් ප්‍රදේශ කොළ පැහැයට සහ දුඹුරු පැහැයට හුරු වර්ණයන්ගෙන් දිස්වන බව පවසා ලෝකයම මවිතයට පත් කළහ. මෙය සඳෙහි අතීතයේ සිදු වූ ගිනිකඳු පිපිරීම් පිළිබඳ නව විද්‍යාත්මක සොයාගැනීම්වලට මඟපාදන්නක් විය හැකි බවට විද්‍යාඥයෝ මත පල කරති.
ආටෙමිස් II මෙහෙයුමේ අවසන් අදියර ආරම්භ වූයේ අප්‍රේල් 8 වැනිදා යානය නිල වශයෙන් පෘථිවි ගුරුත්වාකර්ෂණයට නතු වීමත් සමඟය. සඳේ සිට පැයට කිලෝමීටර් 40,000ක අධිවේගයකින් පැමිණි ඔරායන් යානය, පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේදී ඇති වූ සෙල්සියස් අංශක 2,800ක දැඩි තාපය සාර්ථකව දරා ගත්තේය. මෙහිදී නාසා ඉංජිනේරුවන් භාවිත කළ ‘Skip Entry’ තාක්ෂණය නිසා යානය වායුගෝලය මතුපිට ගල් කැටයක් මෙන් පතිත වී නැවත ඉහළට එසවී ගොඩබැසීම නිසා ගගනගාමීන් මත ඇති වූ පීඩනය අවම විය.
අවසානයේ පාපන්දු පිටියක ප්‍රමාණයට සමාන රතු සහ සුදු වර්ණ දැවැන්ත පැරෂුට් තුනක් දිග හැරෙමින්, යානයේ වේගය පැයට කිලෝමීටර් 30 දක්වා අඩු කළේය. පැසිෆික් සාගරයේ බාජා කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදට යානය මෘදු ලෙස පතිත වන විට, අමෙරිකානු නැඟෙනහිර වේලාවෙන් අප්‍රේල් 10 වැනිදා රාත්‍රී 8 පසු වී මිනිත්තු 6ක් විය. මෙහිදී අමෙරිකානු නාවික හමුදාවේ USS John P. Murtha නෞකාව සහ නාසා කණ්ඩායම් ඉතා කඩිනමින් ගගනගාමීන්ව යානයෙන් පිටතට ගැනීමට කටයුතු කළ අතර, මෙහෙයුම පුරාවට ගිගාබයිට් 175කට අධික අධි-විභේදන ඡායාරූප සහ විද්‍යාත්මක දත්ත ඔවුන් විසින් පෘථිවිය වෙත එවා තිබීම අති මහත් විශේෂත්වයකි.
“අපි තෝරාගන්නේ අපේ පෘථිවියමයි”
මෙහෙයුම අතරතුර ක්‍රිස්ටිනා කෝච් පැවසූ එක් ප්‍රකාශයක් ලෝකයේම අවධානය දිනාගෙන තිබිණ.”අපි කොතරම් ගවේෂණය කළත්, අපි අවසානයේ තෝරා ගන්නේ අපේ පෘථිවියමයි, අපි තෝරා ගන්නේ එකිනෙකාවයි.”
එමෙන්ම ඇය තවදුරටත් ප්‍රකාශ කරන ලද්දේ මෙතෙක්ම තමා ජීවත් වූ සුන්දර පෘථිවිය ඉතාමත් කුඩාවට තමාට වඩා බොහෝ ඈතින් දිස් වද්දී ඒ වටා වූ අඳුරු අවකාශය මැද අපේ පෘථිවිය නිසලව පාවෙන කුඩා ජීවිතාරක්ෂක බෝට්ටුවක් මෙන් සහනදායී හැඟීමකින් දැනුණු වගයි. එමෙන්ම එම පෘථිවිය නම් බෝට්ටුවේ සිටින සැවොම එකම කණ්ඩායමක් බවයි.

ආටෙමිස් II මෙහෙයුම යනු හුදෙක් තාක්ෂණික පරීක්ෂණයක් නොව, මානව වර්ගයා නැවතත් අභ්‍යවකාශය ජය ගැනීමට තැබූ දැවැන්ත පියවරකි. මෙම වීරයන් සිව්දෙනා සාර්ථකව පෘථිවියට පැමිණීම, ලබන වසරේ සිදු වීමට නියමිත ‘ආටෙමිස් III’ මෙහෙයුම හරහා මිනිසා නැවතත් සඳ මත ඇවිදින යුගයක උදාව සනිටුහන් කරයි. ඔවුන් රැගෙන ආවේ තරු අතරින් නෙළාගත් දැනුම පමණක් නොව, මානව වර්ගයාගේ අසීමිත හැකියාවන් පිළිබඳ නවතම බලාපොරොත්තුවකි.
silumina